සජින් වාස්ට ඇප නොදුන් හේතු විමසන්න නීතිපතිට හා රහස් පොලිසියේ ස්ථානාධිපතිවරයකුට නොතීසි | දිනමිණ

සජින් වාස්ට ඇප නොදුන් හේතු විමසන්න නීතිපතිට හා රහස් පොලිසියේ ස්ථානාධිපතිවරයකුට නොතීසි

කුමුදු හෙට්ටිආරච්චි

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 23ක් අවභාවිත කළ බව පවසන සිද්ධියට සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට ඇප නොදීම පිළිබඳ කරුණු දැක්වීමට ලබන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නීතිපතිවරයාට හා රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (11) නියෝග කළාය.

සජින් ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කර ඔහුට ඇප ඉල්ලමින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත ඊයේ (11) සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් හට නොතීසි නිකුත් කිරීමට විනිසුරුවරිය එ‍සේ නියෝග කළාය. නීතිඥ සමින්දි දේවපුර මහත්මිය මගින් සජින් ද වාස් ගුණවර්ධන මහතා මෙම ප්‍රතිශෝධන අයදුම්පත ගොනු කර තිබුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පැවැති 2005 වසරේ සිට 2015 වසර දක්වා වූ කාලයේ හිටපු ජනාධිපතිවරයාගේ හා ජනාධිපති ලේකම්වරයාගේ අනුදැනුම මත තම පරිහරණයට වාහන 16ක් ලබාදී තිබූ බව ප්‍රතිශෝධන අයදුම්පත මඟින් සජින් ද වාස් ගුණවර්ධන මහතා කරුණු දක්වා තිබුණි.

යුද සමයේ එල්ල වූ ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් තම ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළු ඇතුළු භටයින් 25 දෙනෙකු ලබාදී තිබූ බවත් ඔවුන් ඇතුළු පිරිසගේ අවශ්‍යතා සඳහා මෙම වාහන යොදාගෙන තිබූ බවත් අදාළ වාහනවලට අවශ්‍ය ඉන්ධන තමන් විසින් සපයා ගත්ත ද ඒවායේ නඩත්තු කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සැපයූ බව පවසන පෙත්සම්කරු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වූ පසු 2015 ජනවාරි 08 වැනිදායින් පසු අදාළ වාහන සියල්ල ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදුන් බවද සඳහන් කර ඇත. මේවන විට තමන් සතුව කිසිදු වාහනයක් නැතැයිද ඒ බව රහස් පොලිසියට තමා පැවසුවද තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළ බවත් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඇප ඉල්ලා සිටියද ඇප ප්‍රතික්ෂේප කරන ලැදැයි ද පෙත්සම්කරු වැඩිදුරටත් පවසා ඇත.

2010 වසරේ සිට හුස්ම ගැනී‍මේ හා නිදා ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බවත් තමා රක්ෂිත බන්ධනාගාරගත වීමෙන් පසු තම බිරිඳ හා දරුවන්ද රෝගී වී ඇති බවත් පවසන පෙත්සම්කරු තමා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර ‍තමනට ඇප ලබාදෙන ලෙසට නියම කරන්නැයිද වැඩිදුරටත් ඉල්ලා සිටියි.

අදාළ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බලා වගඋත්තරකරුවන් හට නොතීසි නිකුත් කරන ලෙසට පෙත්සම්කාර සජින් ද වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් ඊයේ (11) පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියේය.


නව අදහස දක්වන්න