කළුගඟේ දිය නෑ සිසුහු තිදෙනා ගිලී නසිති | දිනමිණ

කළුගඟේ දිය නෑ සිසුහු තිදෙනා ගිලී නසිති

කළුතර මධ්‍යම විශේෂ එච්. එල්. සුනිල් ශාන්ත

අමතර ඉගැන්වීම් පංතිවලට යන බව නිවෙස්වලට පවසා විත් කළුගඟේ දිය නෑ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාල‍යේ ජාතික පාසලේ උසස් පෙළ සිසුහු තිදෙනෙක් පෙරේදා (13) කළුගඟේ ගිලී මිය ගියහ.

කළුතර දූවේගොඩ පිහිටි කළුගඟේ ගලේ තොටුපොළේදී මෙසේ ගිලී මිය ගියේ කළුතර විලේගොඩ ඉකිරිකන්දවත්තේ පදිංචිව සිටි ළිඳමලගේ සතිර‍ රමේෂ් ද සිල්වා (අවු.18) හා අංජුල උපේන්ද්‍ර සොයිසා (අවු.17), උතුරු කළුතර පදිංචි සිටි බෙන්ගේ මුදියන්සේලාගේ බුද්ධික එරංග (අවු.17) යන තිදෙනායි.

තොටුපොළ අයිනේ යතුරුපැදියක්, ඇඳුම් හා පොත් බෑග් තිබුණද ගඟේ කිසිවකු පෙනෙන්නට නොසිටීම පිළිබඳ සැක සිතූ ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ උතුරු කළුතර ‍ෙපාලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජීව විජේවීර මහතා ඇතුළු නිලධාරින් ගොඩබිම මාර්ගය ඔස්සේ සිද්ධිය වූ ස්ථානයට ළඟා වනවිට පොලිසියේ දැනුම්දීම අනුව කළුතර පාලම අසල නැංගුරම්ලා ඇති පොලිස් ජීවිතාරක්ෂක බෝට්ටුවේ නිලධාරින් හා කළුතර නාවික කඳවුරේ නිලධාරින්ද කළුගඟ ඔස්සේ එම ස්ථානයට ළඟාවී ඇත.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් හා නාවික හමුදා භටයින් කළුගං පතුලේ සැඟවී සිටි සිසුන් තිදෙනා ගොඩට ගෙන තිබේ.

ගඟෙන් ගොඩගන්නා විටත් සිහිසුන්ව සිටි සිසුන්ට කෘත්‍රිම ස්වසනය හා ප්‍රථමාධාර දෙමින් පොලිස් නිලධාරින් පොලිස් ජීප් රථයෙන්ම ඔවුන් කළුතර නාගොඩ මහ රෝහලට ‍රැගෙන ගියේ කෙසේ හෝ ඔවුනගේ ජීවිත බේරා ගැනීමටය.

රෝහලට ගෙන යනවිටත් දෙදෙනකු මිය ගොස් සිටි අතර එක් අයකු රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරන ලදි.

ස්වල්ප වේලාවකින් ඔහුද අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණි.

මොවුන් දිය නානවා දැක ඇති වස්කඩුව පනාපිටියේ පදිංචි ඒ. නන්දාවති යන අය මෙසේ කීවාය.

මේ ළමයි උදේ 9 ට විතර තොටුපොළට ආවා. ඒ ඇවිත් පැය ගාණක් තිස්සේ ගඟේ නානවා දැක්කා. ඊටපසුව බලන විට මේ අය පේන්න හිටියේ නැහැ. ඒ අය ආපු මෝටර් සයිකලයත්, ඔවුන්ගේ පොත් බෑග් ආදියත් ගං ඉවුරේ තිබුණා. ඒ අනුව සැක සිතලා මම අසල්වාසි අයට කිව්වා. පොලිසියට දැනුම් දුන්නේ ඒ අනුවයි.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත උතුරු කළුතර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති සංජීව විජේවීර, කොස්තාපල්වරුන් වන සුමින්ද (8628), රෝලන්ඩ් (55266), ප්‍රියංකර (77017), රත්නායක (41984), නයන (40173) හා ජයලාල් (42229) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

මරණ පරීක්ෂණ ඊයේ (14) කළුතර නාගොඩ මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.


නව අදහස දක්වන්න