ඩයස්පෝරාවට කතාව තහනම් ද? | දිනමිණ

ඩයස්පෝරාවට කතාව තහනම් ද?

වාර්ගිකත්වය පිළිබඳ අප නො දකින සත්‍යයකින් මේ තීරුව ආරම්භ කරන්නට කැමැත්තෙමු. ස්විස්ටර් ලන්තයේ සූරිච් නුවර ඊසන් නම් දෙමළ මහත්මයෙක් ජීවත්වෙයි. ඔහු ශ්‍රී ලාංකිකයෙකි. යුද්ධය පැවැති සමයේ ස්විස්ටර්ලන්තයට ගිය ඔහු අද එහි හොඳින් ජීවත්වෙයි. ඊසන් එල්.ටී.ටී.ඊ විරෝධියෙකි. බෞද්ධ දර්ශනය පිළිගනු ලබන හින්දු භක්තිකයෙකි. සූරිච්හි වසන ඔහු ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව වෙනුවෙන් බොහෝ දේවල් කරයි. ඊසන්ගේ අදහස වන්නේ ලෝකයේ වඩාත් ම සමීප ජාතීන් දෙක දෙමළ හා සිංහල බව ය. ඔහුගේ විග්‍රහයට අනුව මේ ජාතීන් දෙක අතර ඉතා පුළුල් සංස්කෘතික බැඳීමක් පවතී.

ඊසන් බඳු තවත් දෙමළ මහත්වරු ජර්මනියේ සිටිති. කැනඩාවේ සිටිති. ප්‍රංශයේ සිටිති. එංගලන්තයේ හා තවත් රටවල ද සිටිති. එහෙත් මේ සියලු දෙනාට ම අප ලබා දී ඇති පොදු හැඳින්වීම වන්නේ දෙමළ ඩයස්පෝරාව යන්න යි. දෙමළ ඩයස්පෝරාව කියූ සැණෙන් සිංහල මනස තුළ මැවෙන්නේ එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ මිනීමරු ත්‍රස්ත කල්ලියයි. දෙමළ ඩයස්පෝරාව තුළ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සිටින බව සත්‍යයෙකි. එලෙස ම දෙමළ ඩයස්පෝරාව තුළ එල්.ටී.ටී.ඊ. විරෝධීන් සිටින බව ද ඒ තරමට ම සත්‍යයෙකි. ඩයස්පෝරාව යන්නෙහි අර්ථය වන්නේ තම උපන් බිමෙන් බැහැර ව ජීවත්වන කණ්ඩායම යන්න ය. ත්‍රස්තවාදය අප විසින් ඊට අලවනු ලැබ තිබේ.

ඩයස්පෝරාව ගැන යළිත් කතා කිරීමට සිදු වී ඇත්තේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන ආ අලුත් යෝජනාවක් නිසා ය. අමාත්‍යවරයාගේ යෝජනාව වන්නේ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානීන් ශ්‍රී ලංකාවට ගෙන්වා සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ය. එක අතෙකින් බලනවිට මෙය අලුත් යෝජනාවක් ද නො වේ. පසුගිය ආණ්ඩුව ද යුද ජයග්‍රහණයෙන් පසු ඩයස්පෝරාවට ආරධනා කළේ ය. රටේ ඉදිරි ගමනට හා සාමයට සහයෝගය දක්වන ලෙස එදා ආණ්ඩුව ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියේ ය. එහෙත් පිටුවහල් වී සිටි දෙමළ ජනතාව එදා ආණ්ඩුව කෙරෙහි විශ්වාසයකින් පසුවූයේ නැත. ඒ අනුව වැඩසටහන අසාර්ථක විය.

එකට අසුන් ගෙන මෙබඳු සාකච්ඡාවක් පැවැත්වීම අංශ කිහිපයකින්ම වැදගත් ය. එක; දේශපාලන වශයෙන් ජාතීන් දෙක අතර පවතින අවිශ්වාසය හා සැකය මෙයින් තුනී කර ගත හැකි ය. දෙක; නැවත ත්‍රස්තවාදයක් සඳහා දෙමළ පුරවැසියන් සූදානම් වන්නේ නම්; එය වළක්වා ගත හැකි ය. තූන; ජාතීන් අතර සිංහිඳියාව ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා රජය අවංක උත්සාහයක් ගන්නා බව ලෝක ප්‍රජාවට දැනුම් දිය හැකි ය. හතර; ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ලබාගත හැකි ය. දෙමළ ඩයස්පෝරාව සතු මූල්‍ය සම්පත් අප හිතනවාට වඩා බොහෝ සෙයින් වැඩි බව ද කල්පනාවට ගැනීම වැදගත් ය.

අපේ සමාජය ඩයස්පොරාව කියූ සැණෙන් භීතියට පත් වේ. හේතුව කාලයක් තිස්සේ පුරුදු කරගත් සාවද්‍ය අදහස් ය. යුද්ධය පවතින සමයේ දෙමළ කියූ සැණෙන් ඕනෑම කෙනකුට කොටි ලේබලය ඇලවිණි. මෙය කෙතරම් බරපතළ තත්ත්වයක් බවට පත් වූයේ ද යත්; හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ම කියා සිටියේ සෑම දෙමළ ජාතිකයකු ම කොටියකු යැයි සලකන්න එපා යන්න ය. ආකල්පවලින් ජාතියක් විනාශ කළ හැකි ය. ආකල්පවලින් ජාතියක් සාර්ථකව ගොඩනැංවිය හැකි ය. මේ අනුව සමාජයට වැදගත් ධනාත්මක ආකල්ප ඇති කළ යුතු ය. ඩයස්පෝරාව පිළිබඳ නිර්වද්‍ය ආකල්ප ගොඩනැඟීම අද වැනි දිනෙක ඉතා වැදගත් වේ. ඩයස්පෝරාව තුළ සිංහල, දෙමළ මුස්ලිම් යන වර්ග තුනට ම අයත් ජනතාව සිටින බව ද අමතක නො කළ යුතු ය.

ඩයස් පෝරාව සමඟ සාකච්ඡාවක් පැවැත්විය යුතු යැයි ආරංචිය පැතිර යත්ම; ජාතිවාදී හා යුදවාදී කොටස් කුලප්පු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ එක් විවේචනයක් වන්නේ මේ සාකච්ඡාවේ යටි අරමුණ යුද වීරයන් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගෙන යෑම බව ය. මේ සාකච්ඡාව හා යුද අධිකරණය අතර කිසිදු සම්බන්ධයක් නැත. ඩයස්පෝරාවට එවැන්නක් කිරීමේ හැකියාවක් ද නැත. මෙහි අරමුණ වන්නේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීම හා රටේ සංවර්ධනයට ඩයස් පෝරාවේ දායකත්වය ලබා ගැනීම ය. තවත් අතෙකින් බලන විට උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමෙහි නිර්දේශවලට ද ෙම් සාකච්ඡාව එකඟ ය. මීට වැරැදි අර්ථ - නිරූපණ ලබා දී ජනතාව නො මඟ යැවීම බරපතළ වරදකි.

1995 දී සුදු නෙළුම ව්‍යාප­ාරය ආරම්භ කරන විට ඊට රටේ බහුතරයකගේ ආශිර්වාදය ලැබිණි. යාපනයේ දැවීගිය පුස්තකාලය නැවත ගොඩනැඟීම සඳහා ජනතාව ගඩොල් හා පොත් එකතු කළ ආකාරය අපට මතක ය. එදා ජාතීන්අතර සමගියට හොඳ අඩිතාලමක් වැටෙමින් පැවැතිණි. සුදු නෙළුම ව්‍යාපාරයේ පෙරමුණ ගත්තේද මංගල සමරවීර මහතා ය. එදා අමාත්‍යවරයකු ව සිටි මහින්ද රාජපක්ෂ මහතා පවා සුදු නෙළුමට සක්‍රීය දායකත්වය ලබා දුන්නේ ය. යුද්ධය ජයග්‍රහණය කළත් යුද්ධයෙන් පසු සාමය දිනාගන්නට අපට හැකි වූයේ නැත. සාමය දිනා ගැනීමට නම් මෙබඳු වැඩසටහන් අවශ්‍ය වේ.

ආණ්ඩුව ද මේ අවස්ථාවේ විචක්ෂණයකින් යුතුව කටයුතු කිරීම වැදගත් ය. එක අතෙකින් සාමයට එරෙහිව නැ‍ඟෙන යුදවාදී විවේචනවලින් ජනතාව වැරැදි වැටහීම් ඇති කර ගත හැකි ය. ඒ අනුව මේ වැඩසටහන පිළිබඳ පැහැදිලි වැටහීමක් ජනතාවට ලබා දිය යුතු ය. අනෙක මෙබඳු වැඩසටහන් විනිවිද භාවයකින් යුතුව පැවැත්විය යුතුය. ඩයස්පෝරාව කියූ සැ‍ණෙන් කොටි ත්‍රස්තවාදය සිහිපත් කරන සමාජයකට මෙබඳු වැඩසටහන් එකවර තේරුම් ගැනීම අපහසු ය. දකුණු අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා කියන ලෙස සාමය යනු දීර්ඝ හා දුෂ්කර ගමනකි. එහෙත් අප ඒ ගමන කෙසේ හෝ යා යුතු ය. ජයග්‍රහණය ඇත්තේ එතැන ය.

නව අදහස දක්වන්න