20ට සුළු පක්ෂවල විරෝධය | දිනමිණ


 

20ට සුළු පක්ෂවල විරෝධය

ටී. චන්ද්‍රසේකර

 විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සුළු පක්ෂ හතරක නායකයින් ඊයේ (21) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිය වි‍රෝධය ඉදිරිපත්කර සිටියහ.

මෙම සංශෝධනය තුළින් රටේ බහු පක්ෂ දේශපාලනය අවසන් වී ද්විපක්ෂ දේශපාලන ක්‍රමය රටට ලබාදීම එහි යටි අරමුණ වී ඇති බව පෙනී යන බව ද මෙහිදී පෙන්වාදුන් බව ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ‘දිනමිණ’ට පැවැසීය.

මෙහිදී සුළු පක්ෂ නායකයින් ප්‍රකාශ කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැසට් නිවේදනය අවලංගු කර ඊට තමන්ගේ සංශෝධන යෝජනා ඇතුළත් කළ යුතු බවය.

එසේ සිදුනොවුනහොත් වත්මන් 20 වැනි සංශෝධනයට අනුව සුළු ජාතික මෙන්ම සුළු පක්ෂ දේශපාලනයෙන් තුරන් වන බවත්, සුළු ජාතික නියෝජනය අහිමිවන හෙයින් තමන් 20 වැනි සංශෝධනය පිළිනොගන්නා බවය.මෙම සාකච්ඡාව ඊයේ (22) පෙරවරු 9.30 සිට 10.30 දක්වා අරලියගහ මන්දිරයෙදී පැවැති අතර ඊට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක ඇමති රවුෆ් හකීම්, ජනතා විමුක්ති පෙරමුණ නායක අනුරකුමාර දිසානායක, ලාල්කාන්ත, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් සහභාගිවූහ.

සුළු පක්ෂවල හඬට සවන්දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුළු ජාතින්ගේ හදගැස්ම තමන් හොඳින් තේරුම් ගෙන සිටින බවත් මේ සියලු දේ සුළු ජාතින්ගේ මෙන්ම සුළු පක්ෂවල එකඟතාව ඇතිව පමණක්ම සිදුකරන බවත් කීවේය.

මෙයට අමතරව මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව සඳහන් කළ අගමැතිවරයා සුළු පක්ෂවල ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බවද සුළු පක්ෂ නායකයන්ට දැනුම්දී ඇත.

‍මීට අමතරව ජනාධිපතිවරයා හමුවී සිය ගැටලු ඉදිරිපත් කරන ලෙස ද අගමැතිවරයා සුළු පක්ෂ නායකයන්ට උපදෙස් ලබා‍දුන්නේය.

නව අදහස දක්වන්න