20 ආවොත් අපට පාඩුයි - පාඨලී චම්පික | දිනමිණ


 

20 ආවොත් අපට පාඩුයි - පාඨලී චම්පික

මලික් චමින්ද ධර්මවර්ධන

විසි වැනි සංශෝධනය, 19 වැනි සංශෝධනය මුහුණ දුන් තත්ත්වය, සුළු ජාතික පක්ෂ යෝජනා කරන ද්විත්ව මැතිවරණ පත්‍රිකා ක්‍රමය සහ සැප්තැම්බරයේ පැමිණෙන ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සමඟ කළ සාකච්ඡාවකි.

*  අද වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ගැසට් වෙලා අවසන්. නමුත් දින 100න් විසුරුවා හරිනවා කී පාර්ලිමේන්තුව තවත් ඉදිරියට යනවා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන 20 පස්සට දමා මැතිවරණයකට යන්න කියද්දිත් ඇයි මේ හදිසියේම 20 සංශෝධනයට දඟලන්නේ.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හෝ සිවිල් සංවිධාන කිසිවකට 20 වැනි සංශෝධනය ඕනෑ නෑ; පාර්ලිමේන්තුව විසුරුවන්න කියන්න කිසිම අයිතියක් නෑ. මොකද මේ අය ඕනෑකමින් මේක පරක්කු කළේ. ඒ ගැන අපිත් කනගාටු වෙනවා. අපි කිහිප අවස්ථාවකදීම කිව්වා විස්ස ගැසට් කරන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කිව්වා. නමුත් මුස්ලිම් කොංග්‍රසයේ නායකයන් සහ ජනතා විමුක්ති පෙරමුණ උපයෝගී කරගෙන මේක සති හයකින් පමා කළා. ඇත්තටම 20 ගැසට් කළා කියලා. ඒක අවසාන ලියවිල්ල වෙන්නේ නෑ. මේ සඳහා විරෝධතා එල්ල කරන්න පුළුවන්. ඒ සඳහා අධිකරණය තියෙනවා. පාර්ලිමේන්තුව තියෙනවා. මෙහෙම විරෝධතාවය දක්වන්න අවස්ථා ගණනක් තියෙනවා. මේක ඕනෑකමින් පමා කළේ ඒ ඇත්තෝ.

 

*  දහනවයට වුණු දේ ගැන මොකද කියන්නේ?

අපි මේ ජනාධිපතිතුමා පත් කළේ දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න. මේ දේශපාලන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අංගයක් තමයි, මනාප ක්‍රමය අහෝසි කිරීම ඉතින් ඒක ‍කෙරෙන්න ඕනේ. 19 වැනි සංශෝධනයට මේ අය ක්‍රියා කළේ මෙහෙම නොවෙයි. 19 සංශෝධනය කතා කරන්න හරිහමන් වෙලාවක් දුන්නේ නෑ. ඒක බලෙන් ගැසට් කළේ. අන්තිමට ඒ බලෙන් කරපු එක අධිකරණය ප්‍රතික්ෂේප කළා. නමුත් සති 6ක්ම කැබිනට් මණ්ඩලයේ විවිධ ආකාරයෙන් මේක කරන්න ඉඩ දුන්නේ නෑ. මේ පාර ගැසට් කරන්න හදනකොටත් බාධා ඇති කළා. දැන් අපි කොහොම හරි මේක ගැසට් කරලා තියෙනවා. දැන් ඉතින් හැමෝටම කියන්නේ කෙටිකලක් ඇතුළත මේක සම්මත කරලා පාර්ලිමේන්තුව විසුරුවා ගන්න.

එජාපය මොනවා කිව්වත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්කරන්න කටයුතු කරපු අයට 20 සම්මත නොකර පාර්ලිමේන්තුව විසුරුවන්න කිසිසේත්ම අයිතියක් නෑ. එහෙම කළොත් ඒක ලැබුණු ජනවරමට කරන ලොකු ද්‍රෝහීකමක්.

 

*  සමහර පනත් තිබෙනවා ඒවා ගැසට් කරලා තිබුණට පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. උදාහරණ විදිහට තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත ගන්න පුළුවන්. ඒ ගොඩටම 20ත් වැටේවිද?

ඔව් මේ හැම පනතක්ම කැබිනට් එක අනුමත කරලා තියෙනවා. මේවා පාර්ලිමේන්තුවට දාන්නේ නෑ. එහෙම කියාගෙන අද පාර්ලිමේන්තුව වැඩක් නැති තැනක් බවට පත්කරලා තියෙනවා. ඕනෑකමින් මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ. එජාපය හිතනවා දැන් විසිරෙව්වොත් ඒ අයට වාසියි කියලා. ජවිපෙ හිතනවා දැන් විසිරෙව්වොත් ඒ අයට වාසියි කියලා. මහින්ද පාර්ශ්වය හිතනවා දැන් විසුරෙව්වොත් ඒ අයට වාසියි කියලා. ඒ ඒ පිරිස් තම තමන්ගේ වාසිය බලනවා මිසක් රටට වෙන සෙත බලන්නේ නෑ. ඒකයි මෙතැන ප්‍රශ්නය. ්‍

 

*  ඔබතුමාලත් මේ කල් මැරීමම ඔබතුමාලගේ වාසියට යොදාගන්නවා නේද?

ඇත්ත වශයෙන්ම කිව්වොත් පක්ෂයක් හැටියට ගත්තොත් ජාතික හෙළ උරුමයට 20ට සහය දෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ. මොකද දැන් පවතින ඡන්ද ක්‍රමය අපට ඉතාම හොඳයි. ඒත් රටට හරි නැති නිසා තමයි අපේ වාසිය බිල්ලට තියලා කටයුතු කරන්නේ.

 

*  19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදීත් ප්‍රශ්න මතුවුණා. අවසානයේ සමහර කොටස් ඉවත් කරමින් සංශෝධනය කෙරෙන්නේ. ඒවාගේම අද වන තෙක් ව්‍යවස්ථාදායක සභාව පත්කර ගන්න බැරි වෙලා තියෙනවා?

ඒකෙ සම්පූර්ණ වගකීම අගමැතිවරයා බාර ගන්න ඕනේ. මොකද එයා හිතුවක්කාරී විදිහට කැබිනට් මණ්ඩලය තුළ පනත හදාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ගියා. ඒක අධිකරණය ප්‍රතික්ෂේප කළා. පාර්ලිමේන්තුවේ සංයුතිය රටේ ව්‍යවස්ථාවේ ප්‍රකාශිත තත්ත්ව ගැන සම්පූර්ණයෙන්ම තියෙන අනවබෝධය නිසා තමයි එහෙම වුණේ. විධායක ජනාධිපති ක්‍රමය බෙලහීන කරන්න ගිහින් ඒ අය තමන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුමක් නැති පිරිසක් කියලා ඔප්පු කරලා පෙන්නුවා. ඒ වගේම නිසිපරිදි විවාද කරන්න කාලයක්වත් නොදියි පනත ගෙනාවේ. ඉතින් ඒ හින්දා ඒකෙ වගකීම ගන්න ඕනේ ඔවුනුයි. අපි කිව්වේ විධායක ජනාධිපති ක්‍රමයේ තටු කපමු කියලයි. ඒ අය කිව්වා බෙල්ල කපමු කියලා. අන්තිමේදි විධායක ජනාධිපති ක්‍රමයේ පිහාට්ටක්වත් ගලවා ගන්න බැරිව ගියා.

 

*  20ටත් එහෙම වෙයිද

20ට එහෙම වෙන්නේ නෑ. ගැසට් කරලා තියෙන 20ට අපිටත් විවේචනයක් තියෙනවා. අනික් පක්ෂවලටත් තියෙන්න පුළුවන්. කොහොම හරි 2/3 ගන්න එකනෙ පාර්ලිමේන්තු‍ෙව් සම්මත වෙන්නේ. කෙසේ වුණත් 20 හරය කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් ලැබෙන, මනාප ක්‍රමය අහෝසි කරන එකක් නිසා ඒ හරය වටේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ආසන කීයද කොට්ඨාස කීයද, මන්ත්‍රීවරු කීයද, මුළු මන්ත්‍රී ගාන කීයද කියන ඒවාටයි ඔය වාද විවාද යන්නේ. නමුත් හරය වෙනසක් වෙන්නේ නැති නිසා 20ට එහෙම වෙන එකක් නෑ.

 

*  20 වැනි සංශෝධනය යටතේ ක්‍රියාත්මක වන මැතිවරණයකට ද්විත්ව පත්‍රිකා ක්‍රමය සුළු පක්ෂ විසින් යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් ඔබ දරන්නේ කවර ස්ථාවරයක්ද?

සුළු ජාතික පක්ෂ ඉදිරිපත් කරන බව කීවට ඔය යෝජනාව මුලින්ම ඉදිරිපත් කළේ අපේ පක්ෂයට සම්බන්ධ විද්වතුන් පිරිසක්. ද්විත්ව පත්‍රිකා ක්‍රමය අපි අත්හදා බලා නෑ. ඒකෙන් වෙන ප්‍රතිඵලය කොයි වගේ වෙයිද කියලා හිතන්න බෑ. මොකද මනාප ඡන්ද ක්‍රමය හඳුන්වලා දෙන වෙලාවෙත් බොහොම සුබවාදී තත්ත්වයක් තිබුණා. මොකද ඉස්සර තිබුණු කොට්ඨාස ක්‍රමය යටතේ කොට්ඨාසයකින් අපේක්ෂකයෙක් දැම්මට පස්සෙ ඒ අපේක්ෂකයා මොන මට්ටමේ අපරාධකාරයෙක් වුණත් එයාට ඡන්දෙ දෙන්න වුණා. නමුත් මනාප ක්‍රමය යට‍ෙත් දිස්ත්‍රික්කයේ ඉන්න හොඳ මිනිහෙක් තෝරලා ඡන්දය දෙන්න අවස්ථාව ලැබුණා. නමුත් ඒක පාවිච්චි වුණේ ධන බලය සහ වෙනත් විදියේ බලයක් තියෙන අයට. ඒ හින්දා මේකෙත් ප්‍රතිඵලය මොකක් වෙයිද කියන්න අපි ‍දන්නේ නෑ. හැබැයි එකක් පැහැදිලියි මේක තුළ සමහර ජාති, ආගම්, කුල විදියට සමාජය ධ්‍රැවණය වෙන්න පුළුවන්. දැනට මනාප ක්‍රමය තුළින් පක්ෂය ඇතුළේ යම් ප්‍රමාණයකට ඒක වෙනවා. පක්ෂ ඇතුළේ ජාතිය, ආගම් කුල බලනවා. ද්විත්ව ඡන්ද ක්‍ර‍මයේදී පක්ෂයෙන් පිටතින් ජාති, ආගම්, කුල, බලන්න ඉඩ තියෙනවා. ඒක එතැන තියෙනවා.

දෙවැනි එක කොට්ඨාස කඩද්දී සුළු ජාතික කණ්ඩායම්වලට පොඩි බර තැබීමක් කරනවා. එතකොට එක පාරක් බර තැබුවට පස්සෙ ද්විත්ව ඡන්ද පත්‍රිකාවෙන් තවත් පාරක් බර තියෙනවා. ඉතින් ප්‍රමාණය ඉක්මවා ගිය සංඛ්‍යාවක් සුළු ජාතික කණ්ඩායම්වලට ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම අපි වගේ සුළු මතවාදයක් නියෝජනය කරන පක්ෂවලටත් වාසිදායක තත්ත්වයක් ලැබෙන්න ඉඩ තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට සහ සමාජයට නම් මේක ඉතාම අනතුරුදායකයි. සමාජ බෙදුම්වාදය මේක ඇතුළේ ශක්තිමත් වෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පැහැදිලිවම දියවෙලා යනවා.

 

*  පක්ෂයක් විදිහට ද්විත්ව පත්‍රිකා ක්‍රමයටම ජාතික හෙළ උරුමය එකඟද?

පක්ෂයක් විදිහට අරගෙන අපේ පක්ෂය පැත්තෙන් බැලුවොත් ඒක හොඳයි. හැබැයි රටක්, සමාජයක් පැත්තෙන් බැලුවොත් ඒක විනාශකාරී පැත්තක් තියෙනවා කියන්න තරම් අපි එඩිතරයි. අපේ ගොඩ ලොකුකර ගැනීමේ අදහසක් නෑ. පක්ෂයට හොඳයි රටට සමාජයට හානිකර පැත්තක් තිබෙන බව නම් අපි දකිනවා.

 

*  මැතිවරණ ක්‍රමයේ ව්‍යුහමය වෙනසක් ඇති කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් වගේම ජනමත විචාරණයකුත් අවශ්‍යයි නේද?

ඒක ඔය එන්.ජී.ඕ. කාරයෝ ජනතාව බය වද්දන්න කියන දෙයක්. වැලේ වැල් නැතිව රාජ්‍ය නොවන සංවිධාන ටිකක් ඉතුරුවෙලා ඉන්නවා. ඔවුන් හිතනවා ඒගොල්ලන්ගේ ජනාධිපති කෙනෙක් පත්ව‍ුණේ කියලා. ඒ අය තමයි ඔය විකාර අදහස ප්‍රචාරය කරන්නේ. ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ කාරණා ගණනක් අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. ජනතා පරමාධිපත්‍ය අභියෝගයකට ලක්වෙනවා නම් තමයි ජනමත විචාරණයකට යන්න ඕනේ. එහෙම තත්ත්වයක් මෙතැනදි මතුවෙන්නේ නෑ. ඒ නිසා ජනමත විචාරණයකට තුඩු දෙන කිසි දෙයක් මෙතැන තියෙනවා කියලා මම හිතන්නේ නෑ.

 

*  ඔබ පක්ෂය මුලසිටම විධායකය අහෝසි කරනවාට විරුද්ධවයි කටයුතු කළේ?

ජාතික හෙළ උරුමය මුලඉඳන්ම කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු නෑ ප්‍රජාතන්ත්‍රීය කළ යුතුයි කියලයි. ඉතින් ප්‍රජාතන්ත්‍රීයකරණය තමයි දැන් මේ වෙලා තියෙන්නේ. අපි කොහොමත් කියලා නෑ අහෝසි කරන්න කියලා. එහිදී අපි කරුණු කිහිපයක් පැහැදිලිවම පෙන්වලා දුන්නා. අපියි බොහොම පැහැදිලිව කිව්වේ ඇමැතිවරු ගණන සීමා කරන්න කියලා අද ඒක වෙලා තියෙනවා. ඊළඟට අපි බො‍ෙහාම පැහැදිලිව කිව්වා ලේකම්ලා පත්කිරීමේදීත්, විනිසුරුවෝ පත්කිරීමේදීත් ජනාධිපතිවරයාට තියෙන බලය ඉවත් කරන්න ඕනේ කියලා. ඒකත් වෙලා තියෙනවා. ඊළඟට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න තියෙන බලය නැතිවෙලා තියෙනවා. මේ විදිහට ජනාධිපතිවරයා සතුව තිබූ අත්තතෝමතික බලතල පාලනය කළා.

 

*  දැනට කැබිනට් ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු අසුවක් ඉන්නවා. ඒ ගැන මොකද කියන්නේ?

ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ඒක කරන්න වෙනවා. ඒවා විවේචනය කරන්න පුළුවන්. මේ රටේ ජනතාවටත් වගකීමක් තිබෙනවා ස්ථාවර ආණ්ඩුවක් පත්කිරීමට කටයුතු කරන්න. එතකොට එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නෑ.

 

*  මේක යහපාලනයට අල්ලස් දීමක් නොවේද?

කිසිදෙයක වගකීමක් ගන්නේ නැති අයට ඕවා කියන්න පුළුවන්. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ඔවුන් කිසිදෙයක වගකීම ගන්නේ නෑ. අඩුම තරමින් ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට ඡන්දෙ දෙන්න කියලාවත් කිව්වේ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හොඳ වැඩක් කළොත් එයාලගේ. නැත්නම් එයාලා නෑ. එහෙම කරන්න බෑනේ. වගකීමක් ගන්න ඕනේ. දේශපාලනය කියන්නේ විවේචනය විතරක් නොවේ. විවේචනයයි, විචාරයි බස් ගිනිතැබීමයි, පෙළපාලි යාමයි, සටන්පාඨයි ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන්. රට හදන එක කරන්න හරි අමාරුයි. නමුත් අපි වගකීම් අරගෙන ඒක කරනවා.

 

*  වත්මන් ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ කෙරෙහි ඔබ පක්ෂය වැඩිපුරම බලපෑම් කරනවා කියලත් චෝදනාවක් තියෙනවා?

ඕක එන්.ජී.ඕ.කාරයෝ පතුරුවන කතාවක්. ඕක මහින්ද රාජපක්ෂ මහත්තයටත් කිව්වා.හැබැයි අපි එකක් කියනවා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් රාජ්‍ය නොවන සංවිධානවත් නොවේ. ජාතික හෙළ උරුමය තමයි පසුගිය දශකයේ රටේ දිශාව තීරණය කළේ. රටේ දිශාව පිළිබඳ වගකීම ගත්තේ අපි. එදා මාවිල්ආරු ගියහම රට යුද්දෙට ඇදලා දැම්මා කියලා ඔය අය අපට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා. මහින්ද රාජපක්ෂ අපිට දොස් කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රටේ ඒකීයභාවය ගැන දැම්මට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ අපිව තදින් විවේචනය කළා.

ඒ වාගේම ර‍ෙට් නොයෙක් අය නොයෙක් නොයෙක් ප්‍රජාතන්ත්‍රවාදී අරගල කළා. නමුත් ඒවා ඔහේ කැරකි කැරකී තිබුණා. අපි එළියට ඇවිල්ලා තුරුම්පුව ගැහුවාමයි ඒවා වැඩ කළේ. ඒ අනුව රටට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දෙන්න අපි කටයුතු කළා. එහෙම බලපුවාම පසුගිය දශකයේම රටේ දේශපාලනය තීරණය කරලා තියෙන්නේ අපි මිසක් වෙන කවුරුවත් නොවේ.

 

*  සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලංකාව සම්බන්ධ යෝජනාවලිය එළිදැක්වීමට නියමිතයි. ඊට කලින් දේශීය යාන්ත්‍රණයක් ඉදිරිපත් වන බව ප්‍රකාශ වුණා. එහෙත් ඒ පිළිබඳ එතරම් උනන්දුවක් තිබෙන බවක් පෙනෙන්නේ නෑ?

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ මැක්ස්වෙල් පරණගම කොමිසම පත්කළා. මැක්ස්වෙල් පරණගම කොමිසම මුලින්ම පත් කළේ අතුරුදන් වුවන් ගැන හොයන්නයි. ඊළඟට ඒ අයට යුද අපරාධ ගැන හොයන්න බාර දුන්නා. ඊට පස්සේ ඒකට උපදෙස් දෙන්න ඩෙස්මන් සිල්වා ඇතුළු විදේශීය උපදේශකයෝ පත්කළා. ඒ අය දැනටත් ඒ කටයුත්ත කරගෙන යනවා.

නව අදහස දක්වන්න