අපචාරයට ළමයින් කොටුකරන අන්තර්ජාල නූල්සූත්තර | දිනමිණ

අපචාරයට ළමයින් කොටුකරන අන්තර්ජාල නූල්සූත්තර

වර්තමාන ශ්‍රී ලංකාවේ බොහොමයක් දරුවන් තරුණයන් මෙන්ම වැඩිහිටියන් අන්තර්ජාල දැනුම අත්පත් කරගනිමින් එය අවභාවිතයේ යෙදවීමට උත්සාහ දරති. මෙම අවාසනාවන්ත ක්‍රියාදාමය හරහා අදවන විට බොහොමයක් දරුවන් කාමාපචාරයන්ගේ ගොදුරු බවට පත්වී ඇත. විවිධ සමාජ අපගාමී ක්‍රියාවන්ට පුරුදුව ඇත. අධ්‍යාපනය ජය ගැනීමට මෙවලමක් වූ අන්තර්ජාලය නිසාම අධ්‍යාපනය කඩාකප්පල් කර ගනිමින් සිටීති. සිය වටිනා කාලය අපතේ හරිමින් විවිධ සමාජ වර්තමානයේ ළමා පරපුර විවිධ අපයෝජනයන්ට පෙළඹවීමේ හුරුකිරීමේ හා ලක්කිරීමේ ප්‍රධානතම මෙවලම හා ප්‍රවාහය බවට අන්තර්ජාලය පත්ව තිබීමත් සමඟ කොළඹ, මීගමුව, ගම්පහ, කුරුණෑගල, මහනුවර, රත්නපුර, ගාල්ල, කළුතර හරහා නැවත කොළඹ දක්වා වූ වට කලාපය පුරා අන්තර්ජාල ළමා අපයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වයේ ශීඝ්‍ර ලෙස ඉහළයාමක් දක්නට ලැබේ. ඒ අතරින් නුගේගොඩ, කොටුව හා හෝමාගම/කොට්ටාව යන කලාප තුන අන්තර්ජාල ළමා අපයෝජකයන්ගේ ඉහළම ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරයි. මෙය නිවැරැදිව හඳුනාගෙන වහවහා පිළියම් නොයෙදුවහොත් මුළු මහත් ශ්‍රී ලංකා භූමියම ළමා අපයෝජනයේ අඳුරු සෙවණැල්ලෙන් වසා ගනිමින් මහත් වූ ව්‍යසනයක් කරා ළමා පරපුර රැගෙන යාම වළකාලිය නොහැක.

සාමාන්‍යයෙන් සිදු වන ළමා අපයෝජනයක් සඳහා අපයෝජකයා විසින් මාස ගණනාවක් නැතහොත් වසර ගණනාවක් ඒ සඳහා සැලසුම් සකසනවා වන්නට පුළුවන. ඒ සඳහා අවස්ථා කිහිපයක් පිළිවෙලින් සාර්ථක කරගත යුතු ය. ළමා ලිංගික අපයෝජනවලින් 90% පමණ අපයෝජකයින්ගේ අනන්‍යතාවය දරුවා හොඳින් දැන සිටින බැවින් එක් වරම දරුවාට ලිංගික අපයෝජනයක් කිරීමට සූදානම් නොවේ. මන්ද යත් ඔහු තුළ දැඩි බියක් හා වරදකාරී හැඟීමක් පැන නගින බැවිනි. ඒ සඳහා දරුවාගේ කැමැත්ත පිරික්සමින් දීර්ඝ කාලයක් ගනිමින් සිය බිය හා වරදකාරී හැඟීම අවම මට්ටමක් කරා රැගෙන විත් අවසානයේ අවස්ථාවක් උදාකර ගනිමින් ළමා ලිංගික අපයෝජනය සිදු කරනු දැකගත හැකිය. ඒ අතර වූ දීර්ඝ කාලය තුළ දරුවා ස්පර්ශය රහිත පූර්ව අපයෝජනවලට ලක්වීම අවම මට්ටමක පවතින මුත් අන්තර්ජාලයේ ළමා අපයෝජන ක්‍රියාවලිය මෙයට හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගනු ලැබේ.

අන්තර්ජාලය තුළ ළමා අපයෝජන සඳහා යොමු වන පුද්ගලයින්ගෙන් 90%ක් පමණ අනන්‍යතාවය තහවුරු නොකළ ව්‍යාජ ගිණුම් හරහා අපයෝජනය සිදු කිරීමට උත්සාහ දරන බව දැකගත හැකි ය. කිසි දිනෙක දැක නැති නාඳුනන පුද්ගලයකු බැවින් ඔවුන් තුළ බිය, චකිතය, වරදකාරී හැඟීම ඉතා අවම මට්ටමක පවත්නා අතර යම් අවස්ථාවකදී අනන්‍යතාවය පැහැදිලි වුවහොත් පමණක් ඔහු තුළ බය හා වරදකාරී හැඟීමක් හටගනු ලැබේ. අන්තර්ජාලය තුළින් ළමයකු අපයෝජනය කිරීමට සිහිනයක් ලද මුල් අවස්ථාවේ සිටම විවිධාකාර වූ ස්පර්ශ රහිත අපයෝජනයන්ට දරුවා ලක්වනු දැකිය හැකිය. අපයෝජන අරමුණු සඳහා දරුවා පෙළඹවීමට ලිංගික පින්තූර එවීම, අසභ්‍ය වීඩියෝ පෙන්වීම, ලිංගික කථාබහට සවන්දීමට සැලැස්වීම, ලිංගික ඇවිටිලි කිරීම, දරුවා ලවා ලිංගික පිංතූර ගෙන්වා ගැනීම ආදී ස්පර්ශ රහිත පූර්ව ලිංගික අපයෝජන රැසක් සිදුවේ.

අන්තර්ජාලය තුළින් ළමා ලිංගික අපයෝජන සිදුවීම සඳහා පිළිවෙළින් පසුකළ යුතු අවස්ථා නොපවතින අතර එය තීරණය වනුයේ අනන්‍යතාවය තහවුරු වීම හෝ නොවීම හරහා ය. එබැවින් මෙම ක්‍රියාවලිය ගතික ස්වභාවයක් ගනු ලැබේ. පුද්ගලයන්ගේ අනන්‍යතාවයේ රහසිගතභාවය මත පදනම්ව ඉතා ක්ෂණිකව අපයෝජන සිදුවීම හා නොවීම තීරණය වේ. සමහරවිට පැයක් දෙකක් හෝ දවසක් දෙකක් වැනි කෙටිකාලයක් තුළ පවා දරුවකු මේ හරහා ලිංගික අපයෝජනයකට ලක්කළ හැකිව තිබේ. ගැහැනු දරුවන් හෝ පිරිමි දරුවන් යැයි භේදයකින් තොරව අන්තර්ජාලය තුළ ළමා ලිංගික අපයෝජනවලට දරුවන් ගොදුරු වේ. සාමාන්‍ය ලෙස සිදු වන අපයෝජන ක්‍රියාවලියේ දී මෙන්ම අන්තර්ජාලය තුළින් ද පිරිමි දරුවන් වැඩි වශයෙන් අපයෝජනය සඳහා යොදා ගනු ඇත. ගැහැනු දරුවකු මේ සඳහා පොළඹවා ගැනීමට යම් කාලයක් ගනු ලැබූ මුත් පිරිමි දරුවන් සඳහා ලිංගික ඇවිටිලි කිරීම් ඉතා කඩිනමින් සිදු කිරීමට උත්සාහ දරයි. ඒ සඳහා සමාජය තුළ තවමත් පිරිමි දරුවන් සම්බන්ධයෙන් පවත්නා අනාරක්ෂිත බව හේතු වන්නට පුළුවන. එක් වරක් දරුවකු ලිංගික අපයෝජනය සඳහා යොදාගත් පසු එම දරුවා අපයෝජකයා හඳුනන අනෙකුත් අන්තර්ජාල ළමා අපයෝජකයින් සඳහා ද හඳුන්වා දීමට කටයුතු කරන අපයෝජන ජාලයක් ද නිර්මාණය වී තිබීම නිසා මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ මෙන්ම බරපතළ වී තිබේ. මෙසේ හුරුපුරුදු වූ දරුවන් අවසානයේ කණ්ඩායමක් ලෙස ලිංගික (group sex) අපයෝජනයන්ට යොදා ගැනීමට ද වැඩි කාලයක් ගතනොවනු ඇත. ඊට හේතු වනුයේ දරුවන් නිදැල්ලේ අන්තර්ජාලය තුළ සැරිසරන බැවින් ඕනෑම අවස්ථාවක දරුවකු වෙත අයුතු බලපෑමක් හෝ ලිංගික ඇවිටිලි කිරීමක් කිරීමට හැකියාව පැවතීමයි. එබැවින් දරුවා ‍එම කාර්යය සඳහා කැමැත්තක් පවතීනම් එය රහසක් ලෙස පවත්වාගෙන යාමට උත්සාහ දරන අතර අකමැත්තක් පවතී නම් මාපියන්ට හෝ වැඩිහිටියන්ට වාර්තා කිරීමේ ස්වභාවයක් බහුලව දක්නට නොමැත. ඊට හේතු වනුයේ බොහොමයක් දරුවන් දෙමාපියන්ගේ විරෝධතාවය මත අන්තර්ජාලයට පිවිසීමයි. අන්තර්ජාලයට පිවිසීමේ අවස්ථාව දරුවාට අහිමි වෙතැයි යන බිය හා සැකය නිසාය. බොහෝවිට මෙවැනි අපයෝජකයින් පිළිබඳව දරුවන් රහසක් සේ පවත්වා ගනිමින් තනිවම විසඳුම් සෙවීමට උත්සාහ ගනී. සමහරවිට දරුවාගේ එම උත්සාහය සාර්ථක විය හැකිය. එසේ නොවුණහොත් සිය ජීවිතයට හෝ සිය ලිංගික අනන්‍යතාවයට හානියක් සිදු වූ විට හෝ සිදුවීමට ඉතා ආසන්න අවස්ථාවලදී පමණක් බොහෝ දරුවන් එවැනි දෑ වාර්තා කිරීම සිදු කරති.

මේ තත්ත්වය තුළ දරුවන් අන්තර්ජාලය විනෝදජනක කටයුත්තක් සේ භාවිතා නොකළ යුතු බව මාගේ හැඟීමයි. එය සිදු නොකළ හැකි නම් අන්තර්ජාලයට ඔබේ ඡායාරූප වීඩියෝ හෝ අනන්‍යතාවය නිවැරැදිව මුදා හැරීමවත් නොකළ යුතු ය. එසේම නාඳුනන පුද්ගලයින් සමඟ වීඩියෝ සංවාද සඳහා යොමු නොවිය යුතුය. එසේත් නොමැතිනම් ඔබගේ ගිණුම හා තොරතුරු සඳහා සියලු ආරක්ෂක ක්‍රම සක්‍රීය කරගැනීමටවත් වගබලා ගත යුතු ය. ශ්‍රී ලංකාවේ දරුවන් බහුලවම භාවිතා කරන මුහුණු පොත හෙවත් ෆේස් බුක් (Face Book) ගිණුම් බොහොමයක් අනාරක්ෂිත තත්ත්වයේ පවතී. එය භාවිතා කිරීමේ දැනුම පැවතිය ද ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට වැටහීමක් නොමැත.

ළමා ලිංගික අපයෝජකයෝ දරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීමේදී විශේෂයෙන් දරුවාගේ වයස, වාසයකරන ප්‍රදේශය, පවුල තුළ දරුවාට ඇති ආරක්ෂාව, දරුවා අනාරක්ෂිත වන අවස්ථා පිළිබඳව ඍජු හෝ වක්‍රාකාරයෙන් තොරතුරු විමසා බලති.

අන්තර්ජාල ළමා අපයෝජකයින් බෙහෙවින් උපක්‍රමශීලීය. ඔවුන් බුද්ධිමත් ය. දැනුමින් සන්නද්ධය. බොහෝවිට සමාජයේ යම් වගකිවයුතු විවිධ සමාජ තරාතිරම් නියෝජනය කරනු ලබන පුද්ගලයකු විය හැකිය. එබැවින් නව යොවුන් වියේ පසුවන හැඟීම්වලින් සන්නද්ධ එහෙත් හැඟීම් පාලනයෙන් ව්‍යුක්ත වූ දරුවන් මේ සඳහා ඩැහැගැනීමට මොවුහු විවිධාකාර උපක්‍රම භාවිතා කරති. ව්‍යාජ නම් ගම් මෙන්ම විවිධ තොරතුරු ප්‍රදර්ශනය කරමින් අවුරුදු 40 හෝ 50ක් වන වයස්ගත පුද්ගලයින් අවුරුදු 20ක් 25 වයසේ පසුවන තරුණයකු බවට පත්ව දරුවන් රවටමින් ආකර්ශනීය තොරතුරු සපයනු ලබති. එබැවින් අන්තර්ජාලය භාවිතා කරන දරුවන් එවැනි කපටි කෛරාටික ළමා අපයෝජකයින් හඳුනා ගැනීමට සමත් විය යුතුය.

විශේෂයෙන්ම ෆේස් බුක් (Face Book) ටුවිටර් (Twitter) ස්කයිප් (Skype) ඉන්ස්ටග්‍රෑම් (Instagram) වැනි සමාජ වෙබ්අඩවි තුළ මොවුන් බහුලව සැරිසරන බැවින් ව්‍යාජ ගිණුම් හා පුද්ගලයින් පිළිබඳව ‍යම් හඳුනාගැනීමක් ඔබ තුළ පැවතීම ඉතා වැදගත් වේ.

ව්‍යාජ ගිණුම් තුළ බොහෝ විට අසභ්‍ය පින්තූර වීඩියෝ හා තොරතුරු නිතර හුවමාරු වේ. පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වන පින්තූර හෝ තොරතුරු ඒ තුළ අන්තර්ගත නොවේ. විවිධ ලිංගික පෙළඹවීම් සඳහා ඡායාරූප හා වීඩියෝ මෙන්ම අදහස් ද ඔබ සමඟ හුවමාරු කරගැනීමට උත්සාහ දරයි. ඔබගේ පෙනුම පිළිබඳව වඩාත් ප්‍රශංසා මුඛයෙන් කථා කරන අතර ඔබට උදව් කිරීමට උත්සාහ ගනී. ඉතා ආදරණීය ළෙන්ගතු භාෂාවකින් ඔබව අමතනු දැකිය හැකිය. එවැනි ලක්ෂණ සහිත පුද්ගලයින් හා ගිණුම් තුළින් ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතුයි. අන්තර්ජාලයේ සැරිසරන අවුරුදු 14ත් 18ත් අතර දරුවන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු වේ. මන්ද යත් එම වයසේ පසුවන දරුවන් කෙරේ මෙම පුද්ගලයින් වැඩි ආකර්ශනයක් යොමු කරන බැවිනි.

අන්තර්ජාලය තුළින් මිතුරන් සොයා යන දරුවන්ට විවිධාකාර මිනිසුන් මුණගැසෙනු ඇත. ඒ අතර මිතුරන්, සතුරන් මෙන්ම “කුකුළන්” ද සිටින බව අවබෝධ කරගත යුතු ය. එවන් සල්ලාලයන් දරුවන්ගේ පාසල් කාලය අවසානයේ දී හෝ උපකාරක පංතිවලට සහභාගී වන අවස්ථාවලදී හෝ නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවල දී දැන හඳුනාගැනීමට යැයි ව්‍යාජ මිත්‍රත්වයක් මවාපාමින් දරුවන් විවිධ ස්ථානවලට කැඳවීමට උත්සාහ දරනු ලබයි. ඒ අතරතුරදී දුරකථනයක් වැනි ළමා වියට ආකර්ෂණීය යමක් තෑගි ලෙස ලබාදීමටත් පොරොන්දු කරවා ගනිමින් සමහරවිට දරුවාගේ දුරකථනයට රීලෝඩ් (Reload) පවා ලබා දෙනු ලැබේ. වර්තමාන ළමා පරපුරේ ඇතැම් දරුවන් ද මෙවැනි පුද්ගලයකු බව දැනදැනම ඔහු ගොනාට ඇන්දවීමේ අටියෙන් ඔවුන්ගෙන් රීලෝඩ් (Reload) ලබා ගැනීමට පුරුදුව සිටී. නමුත් රීලෝඩ් (Reload) ආදර අන්දරයෙන් ආරම්භ වන මෙම ව්‍යාජ ගනුදෙනුව හරහා අවසානයේ බොහෝ දරුවන් රැවටීමට ලක්ව අපයෝජකයින්ගේ ගොදුරක් බවට පත්වන අවස්ථා ද දැක ගත හැකිය. එබැවින් ළමා ආරක්ෂාවේ නියමුවන් ලෙස දෙමාපියන් හා භාරකරුවන් සිය දරුවන්ගේ අතට දුරකථන හා දුරකථනවලට මුදල් කෙසේ පැමිණෙන්නේ දැයි සොයා බැලීමට වගබලා ගත යුතුයි.

ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල පරිහරණ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. ෆේස් බුක් (Face Book) නැමති සමාජ වෙබ් අඩවිය තුළ ගිණුමක් නොමැති නව යෞවනයකු හෝ තරුණයකු සොයා ගැනීමට ද නොහැකි තරම්ය. මේ වනවිට ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ෆේස් බුක් (Face Book) පරිහරණය කරනු ලබති. ඒ අතර අවුරුදු 14ත් 25ත් අතර වයසේ පසුවන පිරිස 47% පමණ වේ. මින් ගම්‍ය වනුයේ 90 දශකයේ උපත ලැබූවන් අන්තර්ජාලය තුළ වඩාත් සක්‍රීය වී ඇති බවයි. නමුත් මෙම වයස් කාණ්ඩයට වඩා ඉතා කුඩා කල සිටම පරිගණක හා දුරකථන සමඟ සමාජනුයෝජනය ලැබූ කාණ්ඩය වනුයේ 2000 දශකයේ උපත ලැබූවන් ය. ඔවුන් තවමත් අන්තර්ජාලය තුළ එතරම් සක්‍රීය වී නැත. තවත් වසර දෙකක් හෝ තුනක් යාමට මත්තෙන් අන්තර්ජාලයේ වඩාත්ම සක්‍රීය කණ්ඩායම බවට මොවුන් පත්වන විට මෙම ගැටලුව කෙතරම් උග්‍ර වනු ඇතිදැයි සියලු පාර්ශවයන් එක්ව සිතා බැලිය යුතු කාලය එළැඹ තිබේ.

වර්තමාන නවීන තාක්ෂණික ලෝකය තුළ දරුවන් තාක්ෂණයෙන් ඈත්කර තැබීමට යෝජනා කරන්නේ නම් එය අනුවන කමකි. එහෙත් දෙමාපියන් වැඩිහිටියන් මෙන්ම මේ පිළිබඳ වගකිවයුතු පාර්ශවයන් එක්ව නිවැරැදිව තාක්ෂණය මෙන්ම අන්තර්ජාලය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැනුම හා කුසලතාවය ලබා දීමට වහවහා කටයුතු කළ යුතු ය. එසේ නොවුවහොත් දැනුම අවභාවිතයේ යොදමින් සිදු කරනු ලබන කටයුතුවලට දරුපරපුර යොමු වනු නියතය.

සුරක්ෂිත අන්තර්ජාලයක් යන සංකල්පය වඩාත් ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නම් ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය ළමයාට සුරක්ෂිත කරනවා සේම අන්තර්ජාලය සුරක්ෂිතව පරිහරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද වඩාත් අවධානය යොමු කළ යුතු ය. ඒ සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපන අමාත්‍යාංශය, ළමා සංවර්ධන අමාත්‍යාංශය ප්‍රමුඛ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට විශාල කාර්යයභාරයක් හිමිව තිබේ. ඊට අමතරව විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රමුඛ අන්තර්ජාල සේවා සපයන ආයතන හා සමාගම් සඳහා ද සුරක්ෂිත අන්තර්ජාලයක් ගොඩනැගීම වෙනුවෙන් ප්‍රබල කාර්යය භාරයක් නිතැතින්ම හිමිව ඇත. විවිධ වෙබ්අඩවි පිරික්සීම තුළින් අපගේ ගිණුමට බැර වන මුදලට වඩා රටේ හෙට දවස භාරගැනීමට සිටින ළමා පරපුර පිළිබඳව සිතන්නට අප පෙළඹිය යුතු ය.

දවසින් දවස නවීන තාක්ෂණය හා අන්තර්ජාලය දියුණුවේ. වේගවත් වේ. එම නිසාම විවිධාකාර සේවාවන් ඉතා වේගයෙන් ප්‍රජාව අතට පත්වෙමින් තිබේ. නමුත් මෙම තාක්ෂණය පිටුපසම එළවා යාමට උත්සාහ දැරීම හරහා කිසිදු දිනෙක ඔබට සෑහීමකට පත්විය නොහැක. එබැවින් සිය ජීවිතය ජයගැනීමට නවීන තාක්ෂණය අත්පත් කරගත යුතු විනා, නවීන තාක්ෂණය ජය ගැනීමට දරුවන් පෙළඹවිය යුතු නොවේ. එය කිසිදු දිනෙක නොකළ හැක්කකි. වාහනයේ වේගය වැඩි වී ඇත. තිරිංග දුර්වල වී ඇත. අනතුරක් අත ළඟමය. අන්තර්ජාලය වේගවත් වී ඇත. නීතිය ප්‍රමාණවත් මට්ටමකින් නොපවතී. එබැවින් අන්තර්ජාල අපරාධ දිනෙන් දින ඉහළ යයි. නීතිය ප්‍රමාණවත් නොවේ යැයි මේ පිළිබඳ අහක බලා සිටීම කෙතරම් සාධාරණ ද? අඳුරට සාපකරමින් සිටීමෙන් පලක් නැත. එක් පහනක් හෝ දල්වා අඳුර පරයා ආ‍ලෝකය දකින්නා සේ... කළහැකි උපරිමයෙන් දරුවන් ආරක්ෂා කිරීමට පටු වාද භේද අදහස් පසෙක ලා නිලධාරීන්, බලධාරීන් හා ආයතන එක්ව පවත්නා ප්‍රතිපාදනවලින් වැඩ ගත යුතු ය.

අන්තර්ජාලය පිළිබඳ ගැටලුව දිනෙන් දින ඉහළ යනු ලැබේ. ඒ සඳහා තවමත් ස්ථිරසාර විසඳුමක් පෙනෙන්නට නැත. මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුතු සමාජයේ වගකිවයුතු පාර්ශවයන්ට මෙවන් ගැටලුවක් තිබේදැයිවත් අවබෝධයක් නොමැත. එයට හේතු වනුයේ මොවුනට අන්තර්ජාලය පිළිබඳ පවත්නා අනවබෝධය වියහැකියි.

අපයෝජනයට ලක්වන්නා අනාගතයේ අපයෝජකයකු බවට පත් වීමේ අපයෝජන චක්‍රය අන්තර්ජාලය තුළ ද වඩාත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වනු ඇත. අන්තර්ජාලයේ පවත්නා අපරාධ සහයක පහසුකම් සියල්ල මැනවින් උකහා ගනිමින් එවැනි අපරාධ කිරීමට දරුවන් පෙළඹීම මෙම ක්‍රියාදාමයේ පවත්නා බරපතළ ගැටලුවයි. අද අපයෝජනයට ලක්වන දරුවා හෙට අපයෝජකයෙකු ලෙස අන්තර්ජාලයට පිවිසීම තුළ අන්තර්ජාලයේ සැරිසරන දරුවන් විවිධ හිංසනයන්ට ලක්වීමට පවත්නා ඉඩකඩ වේගයෙන් ඉහළ ගොස් තිබේ.

ඔබ කිසිසේත් ඔබේ දරුවා පාලම්, බෝක්කු, කඩපිල්වල නිකරුනේ කාලය කා දමන රස්තියාදුකාරයකු වනවා දැකීමට සිහිනෙකින්වත් නොසිතනවා නිසැකය. එබැවින් එවැනි අවාසනාවන්ත තත්ත්වයකින් ඔබේ දරුවා මුදාගෙන නිවසේ රඳවා තබා ගැනීමට පරිගණකයක්, වැනි යමක් සපයා දීමට බොහෝ දෙමාපියෝ උපක්‍රම ලෙස භාවිතා කරයි. “දැන් නම් දරුවා බොහෝම හොඳයි. ගෙයින් එළියටවත් බහින්නේ නෑ කොම්පියුටරේමයි වැඩේ.” යනුවෙන් බොහෝ දෙමාපියෝ සිය උපක්‍රම සාර්ථක වී ඇතැයි උදම් අනනු අප කොතෙකුත් අසා ඇත. ඔබ දන්නවාද? රස්තියාදුකාරයින් වර්ග දෙකකි. මා කලින් සඳහන් කළ රස්තියාදුකාරයින්ට වඩා නිකරුනේ සිය කාලය, ශ්‍රමය, මුදල් කාබාසිනියා කරමින් ලොව වටා ඉබාගාතයේ යන පරිගණක රස්තියාදුකාරයින් ඉතාමත් භයානකය. බිම් මට්ටමේ සිටින රස්තියාදුකාරයින්ගෙන් සමාජයට සිදු වන හානිය අවමය. හානියක් සිදු වුව ද ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පවත්නා ඉඩකඩ ඉතා ඉහළය. එහෙත් හික්මීයෙකු සේ නිවසටම වී පරිගණකය ඔස්සේ ලොව වටා සිටින බොහෝ දෙනකුට කරදරකාරයකු ලෙස හැරසිරෙමින් කටයුතු කරන උපාසක වෙස්ගත් සල්ලාලයන් ලොවටම කරදරයකි. එබැවින් ඔබේ දරුවා බිම්මට්ටමේ රස්තියාදුකාරයකු නොවීම පිළිබඳව ඔබ බොහෝ සේ සතුටු වුවත් නවීන රස්තියාදුකාරයකු වී සිටී දැයි සොයා බැලුවෙහිද?

අන්තර්ජාලය පරිහරණය කළයුත්තේ කෙසේද යන්න පිළිබඳව පරම්පරාවෙන් උරුම වූ පාරම්පරික ඥාණයක් අපට නැත. එම නිසාම දැලි පිහිය අතින් ගත් වදුරකු සේ විමංසනයෙන් තොරව කටයුතු කරන බොහෝ පිරිසක් අන්තර්ජාලයේ සැරිසරයි. නමුත් අන්තර්ජාලයට පිවිසිය යුත්තේ ඇයි ද? කළ යුත්තේ කුමක්ද? හැසිරිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව ස්වයං වාරණයක් හා පාලනයක් ඔබ විසින්ම ගොඩනගා ගත යුතුයි. මන්ද යත් අන්තර්ජාලය භාවිතයේ නායකයාත්, පාලකයාත්, මෙහෙයවන්නාත් ඔබම වන බැවිනි. ඔබ සොයන්නේ කුමක්ද? එය ඔබට ලැබෙනු ඇත. ඔබ වපුරනුයේ කුමක්ද ඊට අනුව අස්වනු ලැබෙනු ඇත. එහෙත් දැයේ සාරවත් වූ අනාගත අස්වැන්න වූ අපේ ළමා පරපුර තලා පෙලා විනාශ නොකර නිදහසේ පූදින්නට ඉඩ හරින්න. එය රටේ සෑම පුරවැසියකුගේම පරම පවිත්‍ර යුතුකමක් මෙන්ම වගකීමක් ද වනු ඇත.

 

චම්පික කේ. අයගම
ස්ථානභාර විමර්ශන නිලධාරී
අන්තර්ජාල ළමා අපරාධ විමර්ශන ඒකකය

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න