තැපෑලෙන් මත් පෙති ගෙන්වූ 4ක් දැලේ | දිනමිණ

තැපෑලෙන් මත් පෙති ගෙන්වූ 4ක් දැලේ

නිමල් රාජපක්ෂ

 එතෙර සිට තැපැල් මඟින් මෙරට කැරෝකී ආපනශාලාවල අලෙවි කිරීමට ගෙන්වූ රුපියල් 150000ක් වටිනා එක්ස්තසී නැමැති මත්පෙති අලෙවි කළ සිවුදෙනකු සමඟ සුඛෝපභෝගි මෝටර් රථ දෙකක් ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථානය අසලදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.‍

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකු හා අතුරලියේ රතන හිමියන්ගේ සම්බන්ධීකරණ නිලධාරියකුද සිටින බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ පරීක්ෂක තිලක් දිසානායක මහතා පවසයි.

ව්‍යාජ ගැනුම්කරුවකු යොදා මෙම මත්ද්‍රව්‍ය මිල දී ගැනීමේදී එක් පෙත්තක් රුපියල් 3000ක මිලකට අලෙවි කිරීමේ දී කොටුකරගෙන ඇත. සැකකරුවන් ළඟ තිබී එක්ස්තසී පෙති 48ක් සොයාගැනීමට සුරාබදු නිලධාරීන් සමත් වී ඇත. මෙම පෙති කැරෝකී ආපනශාලාවලට පැමිණෙන තරුණ තරුණියන් පානය කිරීමෙන් පසු මත් වී පැය ගණන් නටන බවද සුරාබදු නිලධාරියෙක් සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකොට ඇත. සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති කේ. පී. එස්. පතිරණ, සුරාබදු පරීක්ෂකවරුන් වන තිලක් දිසානායක, සංජය නිශාන්ත, නියාමකවරුන් වන රත්නායක, ලක්ෂාන්, පුෂ්ප කුමාර, අජිත්, දිල්රුක් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.


නව අදහස දක්වන්න