රට සල්ලි තොගයක් රටින් පන්නන තැත වරදී | දිනමිණ

රට සල්ලි තොගයක් රටින් පන්නන තැත වරදී

ජීවනී පතිරණ

 රුපියල් එක්කෝටි හැටනමලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදෙස් මුදල් විශාල ප්‍රමාණයක් නීති විරෝධී අයුරින් මැලේසියාවට ගෙනයාම උත්සාහ කළ පුද්ගලයකු ඊයේ (29) අලුයම කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අමෙරිකානු ඩොලර් 13,300ක්, ස්ටර්ලින් පවුම් 4620ක්, සුවිස් ෆ්රෑන්ක් 300ක්, සිංගප්පූරු ඩොලර් 557ක්, කටාර් රියාල් 11,000ක්, ඕමාන් රියාල් 5110ක්, නෝර්වේ ක්‍රෝනර් 20,250ක්, ක්වේට් ඩිනාර් 14,460ක්, ජෝර්දාන් ඩිනාර් 25ක්, ජපන් යෙන් 746,000, යූරෝ 25,250ක්, ඩෙන්මාර්ක් ක්‍රෝනර් 3100ක්, කැනෙඩියන් ඩොලර් 810ක් හා බහරේන් ඩිනාර් 580ක් ඔහු සන්ත‍කයේ තිබූ සමස්ථ විදෙස් මුදල්වල වටිනාකම ලෙස ගණන් බලා තිබේ. දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙක් වන  මොහු මැලේසියාව බලා පිටත්වීමට සූදානමින් සිට ඇත්තේ MH 178 අලුයම 12.55 ගුවන් යානයෙනි.

මෙය මේ වසරේ අත්අඩංගුවට ගත් දෙවන විශාලතම මුදල් තොගය වන අතර, පෙබරවාරි මාසයේ රුපියල් හාරකෝටි අසූදෙලක්ෂයක මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ. මුල් හයමස ඇතුළත විසි වතාවකදී නීති විරෝධීව ගෙනයාමට උත්සාහ කළ විදෙස් මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 14ක් බව ද රේගුව පවසයි.

දැනට අත්අඩංගුවේ පසුවන මෙම පුද්ගලයා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ රේගු අධිකාරී ඩී.එම්.ජී. නිමලතිලක, සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ. අතීෆ්, ටී‍.එම්.එන්.සී. තිලකරත්න සහ අසංක ප්‍රියදර්ශන යන මහත්වරුන් ගේ මූලිකත්වය යටතේ සිදු කෙරේ.


නව අදහස දක්වන්න