ලියවුණු නොලියවුණු සිහින | දිනමිණ

ලියවුණු නොලියවුණු සිහින

සිහින පිළිබඳ මුලින් අදහස් පළ කළ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ( Sigmund Freud), කාර්ල් යුන්ග් (C.G. Jung) මෙන්ම නූතන පර්යේෂකයන් කුමක් පැවසුව ද සිහිනවල ස්වභාවය, තේරුම් කළ නොහැකි, ස්පර්ශ කළ නොහැකිකම අතිශය පියකරු ය.

මා සහභාගී වූ රචකයන්ගේ වැඩමුළුවක එක සැසියක සිහින ජර්නලයක් පවත්වා ගැනීම පිළිබඳ සාකච්ජා විය. සිහින අමතක වීමට පෙර සටහන් කර ගැනීමෙන්, ඒවා රචනාවට එකතු කරගැනීම පිළිබඳ වැඩිදුරට කතා කළ යුතු වුව ද, සහභාගී වූ අපි ලිවීම වෙනුවට සිහින පිළිබඳව කතා කිරීමට ඇදී ගියෙමු.

මා නිතර විචිත්‍ර සිහින නොදකින, ජර්නලයක් පවැත්වීම වැනි කටයුත්තක යෙදීමේ ශික්ෂණයක් නැති අයෙක් නිසා සිහින ජර්නලයක් මට නැත. නමුත් සිහින නිර්මාණශීලිව සැබෑ ලෝකයේ වැඩකටයුතුවලට යොදා ගැනීමට හැකියාවක් තිබේ.

බෙන්සීන් අණුක ව්‍යූහය අනාවරණය කරගත් ජර්මානු ජාතික රසායනඥ කැකුලේ (Kekule) කලින්දා දුටු සිහිනයක් නිසා බෙන්සීන් ව්‍යුහය සංවෘත එකක් විය යුතු යැයි තීරණය කළ බව යුන්ග් පවසා ඇත. තමන්ගේම වලිගය ගිල දමන්නට යන සර්පයෙක් කැකුලේ දුටු සිහිනයයි. (යුන්ග් 25-26 Jung, Carl Gustav. Man and His Symbols. New York: Dell, 1964.)

නිතර විවිධාකර සිහින නොදුටුවත්, සිහින තුනක් මම නිතර දුටු කාලයක් විය. ඒවා ලිවීමට යොදාගන්නේ කෙසේදයි යන්න විමසා නැති නිසා ඒවා ගැන ලියන්නට මම තීරණය කළෙමි. එම සිහින අතර මා අකමැතිම සිහිනය වන්නේ සර්පයන් දැකීම ය. ගැළවීමට නොහැකි ලෙස බලන බලනා තැන සර්පයන් සිටීමෙන් බයට පත්වීමෙන් ඒ සිහිනය මා පීඩාවට පත් කරන්නට විය.

ඒ විස්තර කළ නොහැකි බය ඇති කරවන සිහිනය කුමක් නිසා නිතර මා පෙළුවාද , කුමක් නිසා දැන් නොදකින්නේ ද යන්න කිසි දිනෙක නොවිමසන්නේ මා එසේ කළොත් එයින් ගැළවීමෙන් මා භුක්ති විඳින සැනසුම උදුරා ගැනීමට නැවත ඒ සිහිනය පෙනෙණු ඇතැයි යන මෝඩ හැඟීමක් මා තුළ ඇති නිසා ය. සර්පයා යන සංකේතයේ අර්ථය ඉදිරිපත් කරන කරුණු මම විශ්වාස නොකරන්නේ යුන්ග් කියන්නා වාගේ සිහිනය දකිනා අයට අර්ථය පහැදිලි කර ගැනීමට නොහැකි නම් සිහින ශබ්දකෝෂවලින් වැඩක් වෙන්නේ නැති නිසා ය.

අනෙක් සිහිනය අලි දැකීමයි. මිනිස් සුවඳ ඉව කරමින් කොතැන සැඟවී සිටියත් ඉතාම සූක්ෂම ලෙස අප සොයා ගනිමින් සිහිනය පුරාම මා හොඳින් ඔසවා බිම ගසා පාගා දැමීමට එන දැවැන්ත්යන්ගෙන් බේරී ආරක්ෂාව සොයා අසරණ කරවන ඒ සිහිනය ඉතා වෙහෙස ගෙන දෙන එකකි. සැබෑ ලෝකයේදී අලියා මගේ ප්‍රියතම සතා වන්නේ කෙසේ දැයි මම කල්පනා කරමි.

සමහර දිනෙක පන්සලක ශාන්තව පාඩුවේ සිටිනා අලියෙක් උගේ පවුරෙන් මිදී මිනිසුන් සෙවීමත්, තව දිනෙක හිමින් ගම් වදින අලි රංචුවකට බලාපොරොත්තු නොවන ලෙස මැදහත්වීමත් වැනි නොයෙකුත් අවස්ථා සම්බන්ධවලින් මා දකින් ඒ සිහිනයේ අාචේතනික පණිවිඩය සවිඥානය සමඟ සම්බන්ධ කරගැනීමේ ගැටලුව තවම මා නිරවුල් කරගෙන නැත. තවම මම ඒ සිහිනය දකිමි.

අනෙක් සිහිනය මා නිතර දුටු, ඉතාම නපුරුම එක වන අතර එය තේරුම ගැනීමට යුන්ග්, ෆ්‍රොයිඩ් හෝ වෙනත් කෙනෙක් මටවත් ඔබටවත් ඇවැසි නැත. එම සිහිනය තුළ මා දකින්නේ දරුණු ත්‍රස්තවාදීන් සහ හමුදාව අතර මිනිසුන් ජීවත්වෙන පෙදෙසක ඇතිවෙන ගැටුමකට මැදි වීමේ අවසානවන්ත මොහොතකි. යුද්ධය සමඟ උස් මහත් වූ කෙනකු ලෙස එවැනි සිහිනයක් දැකීමේ අමුත්තක් මම නොදකිමි.

දුම් රොටු අහසට නංවමින් වන පිපිරීම්, වෙඩි තබා ගැනීම්, පාසල, රැකියා අත්හැර පලා යන මිනිසුන්, දරුවන්, ගැහැනුන්, තැන තැන සුන් වූ ජිවීත සැබෑ ලෝකයේදීත් අප බිය ගැන්වූවත්, ඒ සිහිනය තරමට මා බියගැන්වූ වෙන සිහිනයක් මෙතෙක් මා දැක නැත.

මම කොළඹට කිට්ටුව හැදී වැඩී අයකු ලෙස අත්විඳි බියකරුම අත්දැකීම මහ බැංකුවේ බෝම්බ පිපිරීම ද කාසල්වීදියේ වෙඩි තබා ගැනීමෙන් නූලෙන් බේරි යාමද පමණක් වූවත් ඒ කාලයේ ලංකාවේ ජීවත් වූ කෙනෙක් හැටියට යුද්ධයෙන් මිදෙනු නොහැකි වීමේ ප්‍රතිඵලවලින් එකක් ලෙස මම මේ නපුරු සිහිනය දුටුවා විය හැකි ය. මම දැන් ඒ සිහිනය දකින්නේ නැත.

නිතර දකිනා සිහිනය නපුරු එකක් ද නැති ද යන කාරණාව මත කෙනෙක් අපහසුතාවයට පත් වේ යැයි මම නොසිතමි. ඒවා තේරුම් කර ගැනීමට ඇති අපහසුතාව නිසා සිහින දකින්නා එයින් පෙලෙන්නේ යැයි මම තදින් විශ්වාස කරමි. දැන් මට නිතර වෙනත් සිහිනයක් පෙනේ.

ඒ මිනිසෙකි. සැබෑ ලෝකයේදී, මෑත කාලයේ ජනප්‍රිය වූ සිංහල කියා හැඳින්වෙන පිරිමි ලේඛකයෙක් සිහිනයේදී මගේ මව්පියන්ගේ ගෙදර බෝඩිම්කාරයෙක් ලෙස වසයි. ඔහු දෙමළකු බව අපගේ පවුලේ සියල්ලෝ රහසින් සාකච්ජා කරති. නමුත් උදෑසන පිටත්වී හවසට බෝඩිමට එන මේ මිනිසාට මා සිටින නිවසේ අය හොඳ මුහුණ පෙන්වති.

ශ්‍රී ලංකාවේ බොහෝ පිරිමින් සේ කාල වර්ණැති මේ මිනිසා කමිස, කළිසම් අඳියි; හික්මුණ ගති සිරිත්වලින් යුක්තයි; උඩු රැවුල වවයි. හවස නිවසට පැමිණෙන ඔහු සෙමින් නිවසේ පිටුපස ඔහුට වෙන්වූ කාමරයට යද්දී මා සිටින කාමරයේ ජනෙල් කූරු අතරින් යමක් මා'තට දී නිරහංකාර සිනාවකින් සංග්‍රහ කොට ඉවත්වී යයි.

සමහර රැයෙක ඒ කඩදාසි බෑගයක ලූ කෑමකි; සමහර රැයෙක ඒ කතන්දර පොතකි. දෙමළ මිනිසුන් විශ්වාස නොකළ යුතුයැයි මගේ මිනිසුන් සිහිනය තුළදී මට තදින් අවවාද කොට ඇති නිසා ඔහු සමඟ මට කුළුපග වෙනු නොහැකි ය. ඔහුගේ පිටුපසින් ඔහුට එරෙහිව වෙන කතා බහ දැනුම්දීම ද මට කරනු නොහැකි ය.

ඔහු දුන් දේ ගුළි කර ගෙන කල්පනාවේ යෙදීමට පත් කරවන සිහිනය දැන් මා නිතර පෙළයි. යුන්ග් කියන්නා වාගේ සියලුම මිනිසුන්ගේ මනසට පොදු වූ සිහින අර්ථකථනයක් කිරීමෙන් මගේ සිහිනවල නියම තේරුම සොයා ගන්න අපට නොහැකි වෙනු ඇත. නමුත් ඒවා තුළින් මට යමක් වටහා ගන්නට හැකිවේ නම් එයින් මට යම් දුරකට සාමාදානනයක් ලබා දෙනු ඇත. ඒ වන තෙක් සිහිනවල අමුතු ගතියට කැමැත්තෙන් පසුවීමට මම තීරණය කර ඇත්තෙමි.

නමුත් ඔබ දකින සිහින නිර්මාණශීලි ලෙස සැබෑ ලෝකයේ කටයුතුවලට උපකාරී කරගනු හැකි වේ නම් ඒ අපූරු දෙයකි.

 

 

හිමාලි එන්. ලියනගේ

 

[email protected]

නව අදහස දක්වන්න