ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගොඩනැඟීමේ දී ඉස්ලාම් ආගම විශාල සේවයක් කළා -අගමැති | දිනමිණ

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගොඩනැඟීමේ දී ඉස්ලාම් ආගම විශාල සේවයක් කළා -අගමැති

ශිරෝමි අබයසිංහ

 ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගොඩනැඟීමේදී ඉස්ලාම් ආගම් සංස්කෘතිය විශාල සේවයක් සහ බලපෑමක් සිදුකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. සමාජය හැදීමට නම් මිනිසා සකස් විය යුතු යැයි කී අගමැති වික්‍රමසිංහ මහතා රාමලාන් මාසය තුළ ජීවිතය හැඩගස්වා ගැනීමට ඉස්ලාම් දර්ශනය තුළින් මඟ පෙන්වන බවද කීය.

අප සිදුකළ සෘජු හා පටු ක්‍රියාවන් යළි මතක් කර ගනිමින් මනස සකස් කර ගැනීමට මේ මාසය යොදවා ගත යුතු බව ද අගමැතිවරයා කීය.

අරලියගහ මන්දිරයේදී ඊයේ (29) පැවැති ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.

මහමද්තුමා දේශනා කළ ධර්මය අනුව රාමලාන් මාසයේ වැදගත්කම ඉස්ලාම් ආගමට පමණක් සීමාවී නැතැයි කී අගමැති වික්‍රමසිංහ මහතා එය ශ්‍රී ලාංකික උත්සවයක් ලෙස සලකන බවද කීය. මුස්ලිම් ජනතාවට ජීවත්වීමේ අයිතිය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු යළි තහවුරු වූ බවද අගමැතිවරයා වැඩිදුරටත් කීය.

මේ අවස්ථාවට ඇමැතිවරුන් වන කබිර් හෂීම්, ඒ. එච්. එම්. ෆවුසි, රාවුෆ් හකීම්, කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහත්වරුද ඇතුළුව මුස්ලිම් නියෝජිතයින් දහස් ගණනක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න