ඉදිරි දේශපාලන ස්ථාවරභාවය නිසා ආර්ථික වර්ධන වේගය 7%ක් දක්වා නැංවීමට හැකියි | දිනමිණ

ඉදිරි දේශපාලන ස්ථාවරභාවය නිසා ආර්ථික වර්ධන වේගය 7%ක් දක්වා නැංවීමට හැකියි

චමීර ඇල්ලදෙණිය

 ඉදිරියේ දී ඇතිවන දේශපාලන ස්ථාවරභාවය නිසා මේ වසරේ දී ආර්ථික වර්ධන වේගය 7%ක් දක්වා නැංවීමට හැකි බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.

මේ වසරේ මුල් කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය 6.4%ක් බව හෙළි කළ මහ බැංකු අධිපතිවරයා සේවා අංශයෙන් 75%ක් ද කාර්මික අංශයෙන් 6.5%ක් ද කෘෂි කාර්මික අංශයෙන් 0.7%ක් දක්වා වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බව ද පැවැසීය.

වර්තමාන ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මහ බැංකුවේ දී ඊයේ (3) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එසේ කී මහේන්ද්‍රන් මහතා මේ වසරේ දෙවන කාර්තුවේ දී ආයෝජන සුළු වශයෙන් අඩු වීමක් දක්නට ලැබුණ ද පරිභෝජනය වැඩි වී ඇති බවක් පෙන්නුම් කර ඇතැයි ද කීවේය.

මේ වසරේ පැවැති යහපත් කාලගුණ තත්ත්වය නිසා කෘෂි කර්මාන්ත අංශය මෙන්ම විදුලි බල ආශ්‍රිත කේෂ්ත්‍රයේ ද වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පැවැසීය.

වර්තමාන ආණ්ඩුව ගෙනයන මූල්‍ය ප්‍රතිපත්තිය මත ඉදිරියේ දී ස්ථාවර ඉහළ ආර්ථික වේගයක් රඳවා ගත හැකි බව හෙළි කළ මහේන්ද්‍රන් මහතා ඒ සඳහා ශක්තිමත් මූල්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ද පෙන්වා දුන්නේය. මහ බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් කෝප් කමිටු පරීක්ෂණයට තමා කල් ඉල්ලා සිටිය දී පාර්ලිමේන්තුව විසිර වූ බව පැවසූ මහේන්ද්‍රන් මහතා ඉදිරියේ දී පත් වන කෝප් කම්ටුව මේ පිළිබඳ පරීක්ෂණ කිරීමට තමාට ඇරයුම් කරන්නේ නම් ඊට සහයෝගය දක්වන බව ද පැවැසීය.


නව අදහස දක්වන්න