බැදුම්කර කෝප් වාර්තාව ගැන බොරු ප්‍රචාර කරන්නේ නොදන්නාකමින් | දිනමිණ

බැදුම්කර කෝප් වාර්තාව ගැන බොරු ප්‍රචාර කරන්නේ නොදන්නාකමින්

අනුර ප්‍රේමලාල්

 මහ බැංකු බැදුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ අසත්‍ය ප්‍රචාරයන් කරමින් නොයෙක් දේ පවසන්නේ ඔවුන්ට පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ නොදන්නාකම හා මහ බැංකුවේ වැදගත්කම පිළිබඳව නොදන්නාකම නිසා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(03) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති 'කෝප් කමිටු වාර්තාව ජනතා අධිකරණයට' මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

එහි දී වැඩි දුරටත් කතා කළ ගුණසේකර මහතා... මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රමාදවීම ගැන නොයෙකුත් චෝදනා තමා හට එල්ල කළත් තමා මේ සියල්ල ඉවසා දරාගෙන කටයුතු කළේ පාර්ලිමේන්තුවේ ගෞරවය, අභිමානය හා සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට බව පෙන්වා දුන්නේය.

මෙය තමාගේ පෞද්ගලික වාර්තාවක් නොවන අතර එම කමිටුවේ සාමාජිකයෝ දහතුන් දෙනකු ක්‍රියා කළ බවද ඔවුන්ගේ බහුතර කැමැත්ත මත පොදු එකඟතාවයකින් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එසේ නමුත් අවසානයේ රැස් වූ කමිටු සාමාජික මන්ත්‍රීවරු අට දෙනාගෙන් සිව්දෙනකු මෙය ඉදිරිපත් කිරීමට කැමැත්ත දැක් වූ නමුත් අනෙක් සිව්දෙනා අකමැත්ත පළ කිරීම හා නොසිතූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන කරුණු නිසා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකිවිය. තව සතියක් පාර්ලිමේන්තුව පැවැත්වුණානම් ‍ප්‍රතිඵලයක් දකින්න තිබූ බව ඒ මහතා පැවැසීය.

ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී දේශපාලන පක්ෂවලටත් වගකීමක් පැවරෙනවා පිටු 447කින් යුක්ත මේ සාක්ෂි සටහන් වාර්තාවේ කටයුතු ඉදිරියට ගෙන යන බවට තම ප්‍රතිපත්ති ප්‍රකාශවල සඳහන් කිරීමට එමෙන්ම මේ ගැන අවදියෙන් සිටීමට ජනතාවටත් වගකීමක් තිබෙන බව ඒ මහතා අවධාරණය කළේය.

කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අකමැති වූ මන්ත්‍රීවරුන්ගේ නම් එළි කිරීමට මෙහි දී ඒ මහතා මැලිවිය.

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාව කෝප් සභාව ඉදිරියට කැඳවා නැතැයි අදාළ නොමැති රැස්වීමක පැවසුවත් ඊට පෙර දිනයේ තමා සමඟ අගමැතිවරයා පැයක් කාලය ගත කළත් මේ පිළිබඳ නොකී බව ඒ මහතා අනාවරණය කළේය. කෙසේ වෙතත් කෝප් කමිටුවට මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවට කැඳවිය නොහැකි අතර ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් අවසරයක් ගත යුතු බව ඒ මහතා කීය.

දැනට අමාත්‍යාංශයක මූල්‍ය පාලනනය කිරීම ‍කරන්නේ එහි ලේකම්වරයාය. චෙක්පත්වලට අත්සන් කිරීම ඇතුළු සියලු මූල්‍ය කටයුතු කරන්නේ ඒ පුද්ගලයායි. මැති ඇමැතිවරුන්‍ට ඒ බලතල නොමැති අතර මූල්‍ය විනය හා පාලනය සම්බන්ධයෙන් අකටයුතු සිදුවුවහොත් ඒ ගැන වගකිව යුත්තේ එම බලධාරියා බව ගුණසේකර මහතා වැඩි දුරටත් පවසා සිටියේය.


නව අදහස දක්වන්න