මහින්දට නාමයෝජනා | දිනමිණ

මහින්දට නාමයෝජනා

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දිස්ත්‍රික්කයක අපේක්ෂකයකු ලෙස තරග කිරීමට අවස්ථාව ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළ බව එහි ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති ධුර අපේක්ෂක ලෙස හෝ කණ්ඩායම් නායක ලෙස තරග කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා තිබිණි.

ඒත් ඔහුට අගමැති ධුර අපේක්ෂකත්වය හා කණ්ඩායම් නායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක එල්ලේම අපේක්ෂක ධුරය පවා ලබා නොදී ඒ සඳහා තීරණයක් ‍ලබාදීමට දිනයක් ලබාගෙන තිබිණි.

මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට සන්ධානය එකඟතාව පළකළත් පසුගිය පාලන සමයේ දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ හා මත්කුඩු, මත්ද්‍රව්‍ය, එතනෝල් ජාවාරම් පිළිබඳ චෝදනාවන්ට ලක්වූ කිසිදු අයකුට නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ‍එලෙසම ක්‍රියාත්මක වනු ඇත.

හිටපු ජනාධිපතිවරයා මෙරට අගමැති ධුරයේ මෙන්ම විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ අයකු වුවද මෙම මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සඳහා තරඟ කිරීමට නාමයෝජනා ලැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනය මෙසේය.

2015/07/02 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කළ පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2015 එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීම සඳහා නාමයෝජනා ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි දින කීපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් වනු ඇත.

නාමයෝජනා අවසන් වීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සන්ධානයේ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් ආරම්භ කරනු ලැබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් සියලු ප්‍රගතිශීලී බලවේගවල ප්‍රාර්ථනා ඉටුවන පුළුල් ජනතා බලවේගයක් ලෙස 2015 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම අපගේ ප්‍රාර්ථනය යි.


නව අදහස දක්වන්න