රු. ලක්ෂ 8ක් ගෙවන්නැයි අතාවුදට නියෝග | දිනමිණ

රු. ලක්ෂ 8ක් ගෙවන්නැයි අතාවුදට නියෝග

 වරකාපොළ කොහොඹදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පානීය ජල ව්‍යාපෘතියකට අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ පෞද්ගලික භාණ්ඩවලට අලාභ හානි කිරීමේ නඩුවේ චූදිත හිටපු ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න, වරකාපොළ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී සරත් සුමනසුරිය මහත්වරු ඇතුළු පිරිස අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ අටක මුදලක් ගෙවන ලෙසට වරකාපොළ මහේස්ත්‍රාත් උද්ධාර සරතුරුගොඩ මහතා ඊයේ (03) නියෝග කළේය මෙයට අමතරව ඇමැතිවරයා ඇතුළු පිරිසට දැඩි සේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට අගතියට පත් පාර්ශ්වයේ අයට කිසිදු බලපෑමක් නොකර යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කරන ලෙසට දැන්වීය.

2012.06.06 හෝ ඊට ආසන්න දිනයක අතාවුද සෙනෙවිරත්න හිටපු ඇමැතිවරයා ඇතුළු දහනව දෙනකුට විරුද්ධව මෙම නඩුව පවරා තිබුණේ කොහොඹදෙණියේ කේ.ටී. ජයලත් බණ්ඩාර යන අය විසිනි. හිටපු ඇමැතිවරයා අදාළ පිරිස එකී දින ජයලත් බණ්ඩාර යන අයගේ නිවසට ඇතුළු වී නිවසේ තිබූ පෞද්ගලික භාණ්ඩවලට අලාභ හානි කැර රුපියල් දසලක්ෂ අසූ දහසක පාඩුවක් සිදු කළ බවට මෙම නඩුව පවරා තිබුණි.

වසර තුනක කාලයක් පුරාවට පැවැති මෙම නඩුවේ විත්තිකාර පාර්ශ්වය නඩුව සමථයකට පත්කිරීමට කළ ඉල්ලීමකට අනුව පැමිණිලිකරුවන් කැමැත්ත පළ කිරීම නිසා රුපියල් ලක්ෂ අටක මුදලක් ගෙවා නඩුව අවසන් කිරීමට මින් පෙර පැවැති නඩු විභාගයකදී තීරණය වී තිබුණි.

ඒ අනුව යළි මෙම නඩුව විභාගයට ගත් මහේස්ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශ්වයන්ට රුපියල් ලක්ෂ අටක මුදලක් ගෙවීමට නියෝග කැර විත්තිකරුවන් සියලු දෙනා මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කැර යැවීය.


නව අදහස දක්වන්න