විත්තිකාර අඹු සැමි යුවළගේ ඇප අයැදුම ඉවතට | දිනමිණ

විත්තිකාර අඹු සැමි යුවළගේ ඇප අයැදුම ඉවතට

කුමුදු හෙට්ටිආරච්චි

 පාසල් සිසුවියක හා ඇගේ මව කපා කොටා ඝාතනය කළ කහවත්ත කොටකෙතන පළමු ද්විත්ව ඝාතනයේ විත්තිකාර අඹු සැමි යුවළ වෙනුවෙන් කළ ඇප අයැදුම කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය ඊයේ (03) ප්‍රතික්ෂේප කළාය.

විත්තිකාර යුවළට එරෙහිව නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විශේෂ ජූරි සභාවක් හමුවේ ලබන සැප්තැම්බර් මස 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට තීරණය කැර ඇති බැවින් විත්තිකරුවන් නොකඩවා අධිකරණයට පැමිණීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළ විනිසුරුවරිය ඇප අයැදුම් එසේ ප්‍රතික්ෂේප කළාය.

තවද විත්තිකාර යුවළට ඇප නියම කළහොත් ඇති විය හැකි මහජන කැලඹීමත්, සාක්කිකරුවනට එල්ල විය හැකි බලපෑම් හා විත්තිකරුවන් අධිකරණය මග හැර යෑ‍ෙම් ඇති ඉඩකඩ සැලකිල්ලටගෙන විත්තිකරුවන් කළ ඇප අයැදුම ප්‍රතික්ෂේප කරන බවද නඩුව ඊයේ (03) කැඳ වු අවස්ථාවේ විනිසුරුවරිය වැඩිදුරටත් ප්‍රකාශ කැර සිටියාය. නඩුවේ පළමු විත්තිකරුට එරෙහිව කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිර දඬුවම් නියමකර වසර ‍දහයකට එම සිරදඬුවම අත්හිටුවා ඇති කාලය තුළ ඔහු මෙම බරපතළ අපරාධය සිදු කැර ඇති බව සඳහන් කළ විනිසුරුවරිය දීර්ඝ කලක් රිමාන්ඩ් බාරයේ පසුවන විත්තිකාර යුවළ වෙනුවෙන් ඇප අයැදුම් කළ හැකි කාලය ඉක්මවා ගොස් කලකටත් පසුව මෙසේ ඇප අයැදීම සැක සහිත බවද ප්‍රකාශ කළාය.

ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මඟින් විත්තිකාර යුවළ පෙර දිනයේ නඩුව කැඳ වූ අවස්ථාවේ මෙම ඇප අයැදුම ඉදිරිපත් කැර තිබුණි.

වසර තුනකට අධික කාලයක් විත්තිකරුවන් රක්ෂිත බාරයේ පසුවීමත්, ඉන් ඔවුන්ගේ බාලවයස්කාර දරුවන් පස් දෙනා අසාධාරණයට ලක්ව ඇති බවත් පවසමින් විත්තිකාර යුවළට ඇප නියම කරන ලෙසට අයැද තිබුණි.

විත්තිකාර යුවළට ඇප නියම කිරීමෙන් මහජන කැලඹීමක් ඇති විය හැකි බවත්, ඔවුන්ගේම දරුවන් දෙදෙනකු ඇතුළු නඩුවේ සාක්කිකරුවන් හට ඉන් බලපෑම් එල්ල විය හැකි බවත් පවසමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මාලි කරුණානායක මහත්මිය විත්තිකාර යුවලට ඇප දීම සම්බන්ධව විරුද්ධත්වය පල කැර සිටියාය.

‍ෙමම ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බලා විත්තිකරුවනගේ ඇප අයැදුම් ඇප පනතේ 14 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරිය ඊයේ (03) ප්‍රකාශ කළාය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මාලි කරුණානයක මහත්මිය පෙනී සිටියාය.


නව අදහස දක්වන්න