විනිසුරු සරත් ආබෲ නඩුවලට ගන්න එපා | දිනමිණ

විනිසුරු සරත් ආබෲ නඩුවලට ගන්න එපා

 සිය නිවසේ සේවය කළ මෙහෙකාරියට රාජකාරි පිස්තෝලයෙන් පහර දුන් බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතා නඩු විභාග කිරීමේ කටයුතුවලට සහභාගි කැර නොගැනීමට අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා තීරණය කැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවසන් වන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව ඉදිරි නඩු විභාග කිරීම සඳහා නම් කරන විනිසුරුවරුන්ගේ ලැයිස්තුවට සරත් ආබෲ මහතාගේ නම ඇතුළත් නොකරන ලෙස ද අගවිනිසුරුවරයා උපදෙස් දී ඇතැයි ද දැනගන්නට තිබේ.

මෙහෙකාරියට පහර දුන් බව කියන සිද්ධියෙන් පසුව සරත් ආබෲ මහතා නඩු ඇසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙස නම් කැර සිටියද ඔහු ඊට සහභාගි වූයේ නැත. පසුව ඔහු සමඟ එකට අසුන් ගැනීමට සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අකමැත්ත පළකළ බව ද සඳහන් විය. නඩු විමසීම සඳහා සරත් ආබෲ මහතා සමඟ අසුන් නොගන්නා ලෙසට ද, නඩු ඇසීමට ඔහු සහභාගි කැර නොගන්නා ලෙසට ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

මෙහෙකාර කාන්තාවට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතා ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පතිවරයා විසින් බාර දී තිබිණි.

මෙහෙකරුවන්, සේවකයන් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනකුටම විනිසුරු සරත් ආබෲ මහතා පහර දුන් අවස්ථා කිහිපයක් මීට පෙර වාර්තා වූ නමුත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගනු නොලැබිණි.


නව අදහස දක්වන්න