ඩෙංගු මදුරු කීටයන් සොයා රත්මලානේ ගෙවතු 500ක් පිරික්සයි | දිනමිණ


 

ඩෙංගු මදුරු කීටයන් සොයා රත්මලානේ ගෙවතු 500ක් පිරික්සයි

 දකුණු කොළඹ ප්‍රදේශයේ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අත්තිඩිය දෙහිවල ග්‍රාම නිලධාරී වසම්වල සිදුකළ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමේදී නිවාස හා ගෙවතු 500කට ආසන්න සංඛ්‍යාවක් ස්ථානීය පරීක්ෂාවට ලක් කරමින් ඉන් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන ලෙස 70කට අධික ප්‍රමාණයක් හඳුනාගනු ලැබූ බව රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා දිනමිණට පැවසීය.‍

ඩෙංගු මදුරු කීටයන් අධික ලෙස බෝවී සිටි ස්ථාන අටක් හඳුනාගෙන ඒවාට අධිකරණයේ නඩු පැවරීමටත්, ස්ථානීය දඩ වශයෙන් රුපියල් අටදහසක මුදලක් හතරදෙනෙකුට දඩ වශයෙන් නියම කරනු ලැබූ බවත් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

විශේෂයෙන් නිරන්තරයෙන්ම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳව නිවැසියන් දැනුවත් කිරීම්ද සිදුකරනු ලැබිණි.

මෙම මෙහෙයුම රත්මලාන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතාගේ අධීක්ෂණයෙන් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් වසන්ත පෙරේරා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, අජිත් සංජීව, පී. ආර්. පී. එච්. රාජපක්ෂ යන ම හත්වරුන්ගේ මෙහෙයවීම ඇතිව ඩෙංගු මර්දන සාමාජිකයින් හා ක්ෂණික විසඳුම් බළකායේ සාමාජිකයන් 20 දෙනෙකු පමණ සහභාගිත්වයෙන් සිදුකරනු ලැබ ඇත.

ඡායාරූප - කොළඹ දකුණ සමූහ

 

නව අදහස දක්වන්න