කෘත්‍රිම දත් බැඳීම අපට හුරු කළ ශ්‍රී ලාංකික චීන ජනතාව | දිනමිණ

කෘත්‍රිම දත් බැඳීම අපට හුරු කළ ශ්‍රී ලාංකික චීන ජනතාව

උදිත ගුණවර්ධන

මල්වත්තක් ලස්සන වන්නේ නෙක මල් පිපුණු විටය. එක් එක් පැහැයේ නොයෙක් හැඩයේ මල්වලට මිනිස්සු ආදරය කරති. එහි අලංකාරය නරඹති. රටක් වුවද ලස්සන වන්නේ විවිධ ජාතීන්, ආගම්, සංස්කෘතින් එකට එක් වූ විටය. තමන් සිංහලයැයි කියා අනෙක්අයට ඉඩ නොදිම තමන් දෙමළ යැයි කියා සෙස්සන් නොපිළිගැනීමද නොකළ යුතුය. ජාතින් අතර අවබෝධය ඇතිවී රටක් සුන්දර වන්නේ එවිටය. රට මල්වත්තක් මෙන් සුන්දර වන්නේද ඒ ආකාරයට කටයුතු කළ විටය. නොඑසේනම් සිදුවන්නේ අලංකාර මල්වත්තක් බඳු රට විනාශයට පත්වීමය.

විජයාවතරණයේ සිට මෙරටට එක් එක් විවිධ විට කණ්ඩායම් පැමිණි අතර ඔවුන් කෙමෙන් මෙරටට හුරුව එකම රටක පුරවැසියන් බවට පත් වූහ. ඒ ආකාරයට ගත් කළ අප පිරිසිදු සිංහල හා පිරිසිදු දෙමළ කියා කීමට කිසිවකුට හැකියාවක් ඇත්තේ නැත. අප සියල්ලන් විවිධ අවස්ථාවාල විවිධාකාරයේ ජන සම්මිශ්‍රණ වලට ලක්ව ඇති බැවිනි. එහෙත් අප නිතර කතා කරන්නේ ඉන්දියාව සමඟ විජය රාජ යුගයේ සිට තිබූ සබඳතා ගැන පමණි. කෙසේ වුව ඉන්දියාව තරම් නොවුණත් චීනය ඇතුළු වෙනත් රටවල් සමඟද අපි ඈත අතීතයෙන් සිටම ළඟ සබඳතා ගොඩනඟා ගෙන ඇත්තෙමු. ඒ සබඳතා පාහියන් භික්ෂුව මෙරටට වැඩි කාලය දක්වා දිවයයි. පුරාවිද්‍යා සාධක අනුවද චීන ශ්‍රී ලංකා සමීප හිතවත්කම පිළිබඳව ඕනෑවටත් වඩා සාක්ෂි හමුවී තිබේ. මේ සියලු සාක්ෂි විද්‍යාත්මක හා පුරාවිද්‍යා සාක්ෂිය. එහෙත් ඉන් එහා ගිය චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ජීව මාන සාක්ෂිද මෙරටදී අපට දැක ගත හැකිය. ශ්‍රී ලාංකික චීන ජනතාවගේ ජීවන රටාව හා ඔවුන්ගේ වෘත්තිය හා සමාජ තත්ත්වය පිළිබඳ සොයා බැලීමටය. අප තීරණය ‍ෙකළේ එහෙයිනි.

කොළඹ, මරදාන, පාමංකඩ, වැල්ලවත්ත, ඇස්වාට්ටුව, ගම්පහ වැනි ප්‍රදේශවල සුලුතර ජන කොටසක් ලෙස ශ්‍රී ලංකා චීන ජාතිකයෝ දිවි ගෙවති. සංඛ්‍යාත්මකව දහසකට මදක් බලයි. ශ්‍රී ලංකා චීන ජන කණ්ඩායම සෙසු ජන කණ්ඩායම්වලට වඩා ආර්ථික වශයෙන් සරු හා ස්ථාවර දිවි පෙවෙතක් ගත කරයි. මොවුන් අතින් පැවසෙන ප්‍රමුඛ සේවය වී ඇත්තේ දත් බැඳීමේ ශිල්පය හා රෙදි වෙළෙඳාමයි. කොළඹ සහ තදාසන්න නගරවල දත් බැඳීමේ කර්තව්‍ය වැනි වෘත්තියමය ලෙසත් දක්ෂ ලෙසත් කරන්නේ අන් කවරකු හෝ නොව මේ චීන ජාතිකයෝය.

අතිශය මිත්‍රශිලි හා විනෝදකාමී ජන කොටසක් වන මොවුන් තමන් සොයා එන සියල්ලන් පිළිගන්නේ අතිශය ආදරණීය හා ලෙන්ගතු සිතකින් යුතුවය. අපට මුලින්ම හමුවූ ලැන් ටින් හැන් මහතා තුළ මේ සියලු ගතිගුණ නොඅඩුව කැටිව තිබේ. පෙර දිනක ඔහුගේ මරදානේ පිහිටි රෙදි සාප්පුවට ගොස් අපගේ අවශ්‍යතාව පැහැදිලි කළ විට එය සාවධානව කන් දී සිටි ලැන් ටින් හැන් මහතා ඉතාමත් කාරුණිකව සඳහන් කළේ ‘මිස්ටර් අද ටිකක් බිසී’ හෙට දෙකට හමුවෙමුද? කියාය. ඔහුගේ එම ඉල්ලීම පිළිගත් අපි ඔහු කියූ ලෙස පසුවදා යළිත් මරදානේ හැන් මහතාගේ වෙළෙඳසල වෙත පිය නැඟුවෙමු. “ආයුබෝවන් එන්න එන්න... ඔයාලා කියපු වෙලාවටම ආවා නේද”? හැන් මහතා තුළ එදා තිබූ ලෙන්ගතුකම වෙනස්වී නොතිබුණි.

“මොනවද මගෙන් දැනගන්න ඕනෑ” ඔහු ඉන් පසුව අපෙන් විමසුවේය. චීන සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳ අපට ලබා දීමට කරුණු රැසක් ඔහු සතුව තිබණි.

“මම උපන්නේ ශ්‍රී ලංකාවේ ඒ හින්දා මට කියන්න පුළුවන් මම ආපු දේවල් විතරයි... අපි ලංකාවේ චීන ජන ජනතාවගේ දෙවන පරම්පරාවයි. මුලින්ම ශ්‍රී ලංකාවට ඇවිත් තියෙන්නේ අපේ තාත්තලා.

“තාත්තලා ඇවිත් තියෙන්නේ කොයි කාලේද...?” අපේ මීළඟ ප්‍රශ්නය මතුව ආවේ නිරායාසයෙනි. අපේ ප්‍රශ්නයට පිළිතුරුදීමට පෙර හැන් මහතා මද කල්පනාවකට වැටුණි.

“මම දන්න විදිහට තාත්තා ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවන ලෝක යුද්දෙ තිබුණ කාලෙදි. ඒ කාලෙ චීනය කියන්නේ අද වාගේ දියුණු රටක් නොවෙයි. මුදල් අහේනියක් තිබිල තියෙනවා. හරියට කන්න බොන්න තිබිලත් නැහැ. වසංගත උවදුරත් හරියට තිබුණා ලු. ඒ ඔක්කොටම වැඩිය චීන තරුණයන්ට යුද්දෙට සම්බන්ධවීම අනිවාර්ය කරලා තිබුණාලු. මේ හේතු නිසා තාත්තාට චීනය එපා වෙලා ඔළුව හැරුන අතේ යන්න හිතුනලු. අන්තිමට නැවක නැඟලා තාත්තා ලංකාවට ආවලු.

චීන බිත්ති “එදා ලංකා‍ෙව් තිබූ සමාජ වටපිටාව ගැන තාත්තා ඔයත් එක්ක කතා කරල නැද්ද?”

අප තවත් ප්‍රශ්නයක් හැන් මහතා වෙත යොමු කළෙමු.

“එහෙම විශේෂ දෙයක් නම් කියලා නැහැ. ඒත් මට හිතෙනවා, චීනයෙන් ආපු තාත්තා ලංකාවේ බින්න බැස්සේ, චීනෙට වඩා මෙහෙ හොඳ නිිසා කියල.

“එතකොට දුරු රටකින් ආපු තාත්තාට ශ්‍රී ලාංකිකයන්ගෙන් මොන විදිහේ ආදරයක්ද ලැබිලා තියෙන්නේ”

ඒ ප්‍රශ්නය යොමු කළේ සහෝදර ඡායාරූප ශිල්පි ලලිත් සී. ගමගේය.

“මේ රටේ මිනිස්සු ආදරෙන් තාත්තාව පිළිගත්තේ නැතිනම්, ආදරය කළේ නැතිනම්, අගනුවර හදවත වගේ තැනක ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් වෙයිද?”

හැන් මහතා අපෙන් පෙරළා ප්‍රශ්න කළේ සිනහමුසුවය.

හැන් මහතාගේ පියා මුලින්ම කොටුවේ වෙළෙඳසලක රෙදිපිළි වෙළෙඳාමේ නිරතව සිට ඇති අතර ඉන් පසු මදින් මද තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන තිබේත.

හැන් මහතා පවසන ආකාරයට මෙරටට සංක්‍රමණය වූ චීන ජාතිකයන් බහුතරයක් චීනයේ හූවේ ප්‍රාන්තයෙන් හා ෂැන්ඩොත් ප්‍රාන්තයෙන් මෙරටට සංක්‍රමණය වූ පිරිසය. මේ ප්‍රාන්ත දෙක එකල වඩාත් ප්‍රසිද්ධියක් උසුලා ඇත්තේ රණසූරයන් සහ වෙළෙන්ඳන් යන දෙපාර්ශවයට.

“එතකොට හැන් මහත්තයගෙ අම්මත් චීනද” අපි විමසුවෙමු.

“නෑ අපේ අම්මා උඩරට සිංහල . අපි උපතින්ම බෞද්ධ. අපි දහම්පාසල් පවා ගිහින් තිබෙනවා. දන්නවද මහත්තයෝ අපි නිකම් බුද්ධාගම්කාරයෝ නොවෙයි. බුද්ධ දර්ශනය අකුරටම රකින පිරිසක්. හැන් මහතා ඒ බව ප්‍රකාශ කළේ මහත් ආඩම්බරයෙන් යුතු සිතිණි.

“චීන සංස්කෘතිය ගැන තාත්තා ඔයාලව උනන්දු කළේ නැද්ද?” අප විමසූ කළ හැන් මහතා සැහැල්ලුවෙන් කීවේ තාත්තා එවැනි බලපෑමක් නොකළ බවයි.

“එතකොට ඔය ගොල්ලන්ට චීන භාෂාව කතා කරන්න ලියන්න පුළුවන්ද?”

එයට හැන් මහතා ලබාදුන්නේ බැහැ යන කෙටි පිළිතුරයි. අප කළ සොයාබැලීම්වලට අනුව චීනයෙන් මෙරටට සංක්‍රමණය වූ මුල් පරපුරට චීන භාෂාව, සිරිත් විරිත් පිළිබඳ දැනුමක් හා උනන්දුවක් තිබුණද දෙවන තෙවන පරම්පරා වෙතින් චීන සිරිත් විරිත් පිළිබඳ උනන්දුව හීනවී ගොස් තිබේ.

හැන් මහතාගේ මඟ පෙන්වීම මත අප ඊළඟට හමුවූයේ චීන සම්භවයක් සහිත වැඩිහිටි කාන්තාවක වන ජුලියා ශිලා මහත්මියයි. ඇයගේ මව සිංහල වන අතර පියා චීන සම්භවයක් සහිතය. ඇගේ සැමියාද චීන සම්භවයක් සහිත ලියූ කී බෙන්ය. මෙරට දත් බැඳීමේ තාක්ෂණයට සමාරම්භය ලබාදී ඇත්තේ ලියූ කී බෙන් මහතා ඇතුළු පිරිසකි. ඒ ගැන ජුලියට් මහත්මියට ඇත්තේ ආඩම්බරයෙනි.

“තරුණකාලේ මේ රටට ආ මහත්තයා දත්බැඳීම කියන කර්තව්‍යය ප්‍රචලිත කළා. ඇත්තෙන්ම ලංකාවේ අය දත් බඳිනව කියන තාක්ෂණය දැනගෙන හිටියේ නැහැ. අපි තමයි ඒ අය ඔය තාක්ෂණය හුරු පුරුදු කළේ. චීනෙන් ආපු මහත්තය ඉතාමත් ඉක්මනට මෙහෙ ක්‍රමයට හුරු වුණා.

චීනෙට ආයේ යන්න කැමැත්තක් නැද්ද?”

අප ඇයගෙන් විමසූ කල ඇය කීවේ තමා පමණක් නොව සෙසු චීන සම්භවයක් ඇති අය පවා චීනයට ගොස් පැමිණීමට කැමැති වුවද එහි ස්ථිරව පදිංචියට කැමැත්තක් නැති බවය.

“චීන සම්භවයක් ඇති අය ආවාහ විවාහ කරන්නේ තමන්ගේ වාර්ගිකයන් අතරින්මද?”

එහෙම එකක් නැහැ. අද ගොඩක් අය බඳින්නේ සිංහල අය නැති නම් දෙමළ අය. අපේ තුන්වන පරම්පරාව මිශ්‍ර ජාතියක් බවට පත්වෙලා ඉවරයි. අද ලංකාවේ ඉන්න චීන ජනවර්ගයේ ආරම්භකයෝ 1920 වගේ කාලෙක තමයි මෙරටට ඇවිත් තිබෙන්නේ. පසු ගිය කාලයේදී අපේ හැමෝටම පුරවැසිකම ලැබුණා.

ලංකාවට ආපු පළමු පරම්පරාවේ කවුරුවත් අද ජීවතුන් අතර නැද්ද? අප විමසූ කළ ජුලියට් මහත්මිය ප්‍රකාශ කළේ බොහෝ දෙනෙකු මියගොස් දෙතුන් දෙනෙකු රෝගාතුරුව හා වයස්ගතව සිටින බවයි.

ඉන්පසු අප සමඟ කතාබහට එක්වූයේ ජුලියට් ශීලා මහත්මියගේ පුතනුවන් වන ඩෙරික් ලියු මහතායි.

“අද අපගේ හැඩරුවේ පමණයි යම් වෙනසක් තියෙන්නේ නැතිනම් අපිත් ශ්‍රී ලාංකිකයො කියලා හඳුන්වාදීමේ වරදක් නැහැ. අපිට අද චීන කියන එක වැරැදියි. අපිත්දැන් ඔබලා වගේම ශ්‍රී ලාංකිකයන්. එදා අපේ තාත්තා ඇමරිකාවට යන්න හිතාගෙන තමයි නැවට නැඟලා තියෙන්නේ. ඒත් ලංකාව දැක්කාම ඇමරිකාවට යන එක අතහැරලා මෙහි නතර වුණා. එදා මේ රට ඒ වගේ ඉහළ තැනක තිබිලා තියෙනවා. ඒත් අද තත්ත්වය ගැන නම් දුකයි. එදා දුප්පත් චිනය මේ රටට ආධාර කරනවා. ඇමරිකාව තියෙන්නෙ කොහෙද කියල කවුරුත් දන්නවා.

“ඔබ නියෝජනය කරන්නේ දෙවන පරම්පරාව, තුන්වන පරම්පරාව කල්පනා කරන විදිහ ඔබට තේරෙනවද”?

අපේ මේ ප්‍රශ්නයට ඩෙරික් ලබාදුන්නේ මෙවැනි උත්තරයකි.

“ඒ අය ගොඩාක් උත්සාහ කරනවා ඕස්ට්‍රේලියාවට නැතිනම් ඇමරිකාවට යන්න. එහෙ ගිය කොටස් අය ආපහු එන්නේ නැහැ. මට හිතෙනවා තව අවරුදු තිහක් යද්දී අපේ ජන කොටස මහ සමාජයට දියවෙලා යයි කියලා. අද වන විට ඒකේ මූලික ලක්ෂණ පහළ වෙලා තියෙන්නේ.

“ශ්‍රී ලාංකික චීන ජනවර්ගිකයන් අතර සබඳතා ගොඩනැඟිලා තියෙන්නේ කොහොමද?”

අප ඩෙරික්ගෙන් විමසූ‍වෙමු.

“කලින් සංගමයක් විදියටඅපි අතර බැදීමක් හැදිලා තිබුණා. ඒත් දැන් මේ සංගමය අක්‍රියයි. අපි දන්ත කාර්මිකයන්ගේ සංගමය විදියට එකට වැඩ කරනවා. අපේ ජන කණ්ඩායම් පුංචි නිසා අපි අතර දැනහැඳුනුම්කම් හදාගන්න එක අපහසු නැහැ.

“ විවිධ මරණ කටයුතුවලට ඔයාලට වෙන්වෙච්ච සිරිත් විරිත් තියෙනවද??

එහෙම විශේෂයක් දැන් නැහැ. අපිත් ශ්‍රී ලන්කන්ල වගේ තමයි හිතන්නේ.”

ඩෙරික් සඳහන් කරන ලෙසට චීනයෙන් මෙරටට ජන කණ්ඩායම් පැමිණ ඇත්තේ හූබේ, හා ෂැන්ඩොන් ප්‍රාන්තවලින් පමණක් නොවේ හොංකොං රටෙන්ද මෙරටට චීන ජනතාව පැමිණ තිබේ. එයට සමීපතම උදාහරණය වන්නේ මරදාන හොංකොං ස්ටෝර්ස් වෙළෙඳසලයි. ඩෙරික් කියන ලෙස මෙහි සිටින්නේ හොංකොං සිට පැමිණි පිරිසකි.

කරුණු එසේ වුවද දහසකට මදක් වැඩිවූ කුඩා ජන කණ්ඩායමක් වන ශ්‍රී ලාංකික චීන ජනතාවට ශ්‍රී ලාංකික මැලේවරුන්ට මෙන් තමන්ගේ අනන්‍යතාවය හා ජාතිකත්වය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබී නැත. එයට හේතුවී ඇත්තේ ආරම්භයේ සිටම සිදුවූ මිශ්‍ර විවාහය හා එම සමාජ කණ්ඩායම් තුළ දැඩි නෛතික පාලනයක් නොමැති වීම විය යුතුය. ඇත්තෙන්ම මරදාන හා තදාසන්න ප්‍රදේශ පදනම් කරගත් චීන සම්භවයක් සහිත ජනතාවට අවශ්‍යව ඇත්තේ බෙදී වෙන්ව සිටීම නොව ශ්‍රී ලාංකිකයන් ලෙස සැම සමඟ එකට එක්ව සුහදව දිවිපෙවෙත ගතකිරීමය. මෙය සිංහල, දෙමළ, මුස්ලිම් සැමට කදිම ආදර්ශයකි.

 


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

Or log in with...