සෙසු අපේක්ෂකයන්ටත් මහින්දට දෙන ආරක්ෂාව ඕනෑ | දිනමිණ

සෙසු අපේක්ෂකයන්ටත් මහින්දට දෙන ආරක්ෂාව ඕනෑ

නෙල්කා මැදගෙදර

 මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින මහින්ද රාජපක්ෂ මහතාට වෙනත් අපේක්ෂකයන්ට නැති ආරක්ෂාවක් සහ වරප්‍රසාද ලබා දීමෙන් වෙනත් අපේක්ෂකයන්ට අසාධාරණයක් වන බැවින් මැතිවරණය අවසන් වනතුරු ඔහුගේ ආරක්ෂාව අඩු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

 

හිටපු ජනාධිපතිවරයකුට ලැබිය යුතු ආරක්ෂක භට සංඛ්‍යාව ද ඉක්මවන ආරක්ෂාවක් සහ වරප්‍රසාද ලබන මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු නොකරන්නේ නම් සෙසු ඡන්ද අපේක්ෂකයන්ට ද ඔහුට සමාන ආරක්ෂාවක් ලබා දෙන ලෙස නියෝගයක් කරන්නැයි පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

හිටපු ජනාධිපතිවරයා ලෙස ඔහුට ලබා දෙන සියලුම පොලිස් ආරක්ෂාව ඉවත් කරන ලෙස ද ඉල්ලා තිබේ. එසේම රජයේ මුදලින් නඩත්තු වන සහ වැටුප් ලබන දේපළ සහ ආරක්ෂක නිලධාරීන් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන ලෙස ද එම පෙත්සම ‍මඟින් ඉල්ලා ඇත.

හිටපු ජනාධිපතිවරයකු ලෙස ආරක්ෂාව සහ වරප්‍රසාද ලබමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා එම වරප්‍රසාද මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදා ගනිමින් තරග කිරීම නිසා මැතිවරණයට තරග වදින සෙසු අපේක්ෂකයන්ට විශාල අසාධාරණයක් මෙන්ම අගතියක් වන අතර එය අවසන් ඡන්ද ප්‍රතිඵලයට ද අගතිගාමී බලපෑමක් කරනු ඇතැයි පෙත්සමෙහි සඳහන් වේ.

නව සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයකු ලෙස නම් කර සිටින නීතිඥ ආර්. එච්. සේනක පෙරේරා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා, මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ඇමැතිවරයා, නීතිය හා සාමය ක්‍රිස්තියානි කටයුතු භාර ඇමැතිවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

මෙරට සිටි ජනාධිපතිවරුන්ට හිමි පොලිස් ආරක්ෂාව සහ වරප්‍රසාද ඉක්මවන ආරක්ෂක භට පිරිස් සහ වරප්‍රසාද මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙන අතර ඊට හේතුව කුමක්දැයි තමා නොදන්නා බව පෙත්සමෙහි සඳහන් වේ. පොලිස් නිලධාරීන් 105 දෙනකු, යුද හමුදා නිලධාරීන් 14 දෙනකුගේ ආරක්ෂාව මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙන අතර මැතිවරණයට තරග කරන වෙනත් අපේක්ෂකයන්ට එවැනි ආරක්ෂාවක් නොලැබෙන බව පෙත්සමෙහි සඳහන් වේ.

මැතිවරණයට තරග කරන වෙනත් අපේක්ෂකයන්ට නැති විශේෂ ආරක්ෂාවක් සහ වරප්‍රසාද එක් අපේක්ෂකයකුට ලැබෙද්දී එය වැළැක්වීමට හෝ පාලනය කිරීමට මැතිවරණ කොමසාරිවරයා අපොහොසත් වී ඇති බවද පෙත්සමෙහි දැක්වේ. එය මැතිවරණ කොමසාරිවරයා සහ මැතිවරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඇති ජනතා විශ්වාසය පළුදුවීමට හේතු වන බවද පෙත්සම්කරු සඳහන් කරයි.

එබැවින් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ඇති ආරක්ෂක භටයන් සහ වරප්‍රසාද මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට භාවිතා කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බවට ප්‍රකාශයක් නිකුත් කර නියෝගයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන ලෙසද මෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී.

එලෙස ආරක්ෂාව අඩු නොකිරීමෙන් සිදුවන මූලික අයිතිවාසිකම් කඩ වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.


අදහස් 1ක් ඇත

අද හවස අනුරාධපුරේ එක්සත් ජනති නිදහස් සන්ධාන මංගල රැළියේ ලක්ෂ 5ක සෙනඟක් සිටි බවට එන් අයි බී එක වාර්තා කලාට පස්සේ චම්පකයටයි, පරාජිතයටයි, ගමරාලටයි, වෙල් විදානෙටයි, සරම්වල සුලුදිය පහවුනාලු… බටලන්දෙ කොමාන්ඩර්ගෙයි, රතු අලි පැටියාගෙයි කලිසම්වලම මළ පහ වුනාලු…

නව අදහස දක්වන්න