ලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් පළමු සංවත්සරය සමරයි | දිනමිණ

ලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් පළමු සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්දේශ වෛද්‍ය රසායනාගාර සේවාව (Reference laboratory service) වන ලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් (Lanka Hospitals Diagnostics) පසුගියදා සිය පළමුවැනි සංවත්සරය අභිමානයෙන් සැමරීය. මීට වසරකට පෙර මුල් වරට හඳුන්වා දුන් මෙම රසායනාගාර සේවාව ලොව නවීනතම උපකරණ හා උපාංග සමඟ මෙරට ඉහළම තලයේ දැනුම එක්කරමින් ජනතාවට පුළුල් පරාසයක පැතිරුණු වෛද්‍ය පරීක්ෂණ සේවා ලබාදෙන පුරෝගාමී වෛද්‍ය රසායනාගාර සේවාවක් බවට පත්ව ඇත.

රෝගියකුට හැකි ඉක්මනින් ප්‍රතිකාර කිරීමට නම් නිසි කලට නිවැරදිව සහ අඩු වියදමකින් රෝග නිර්ණය සිදු කිරීමේ හැකියාව තිබීම ඉතාම වැදගත්ය. මේ අවශ්‍යතාව හොඳින් වටහාගත් ලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය පරීක්ෂාවන් මෙරට ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ වෙනත් ස්ථානයකින් ලබාගත නොහැකි සේවාවන් රැසක් පිරිනැමීමට හැකි ආකාරයට සිය රසායනාගාරය වැඩිදියුණු කිරීමට කටයුතු කළේය.

මෙරට ප්‍රථම වෛද්‍ය නිර්දේශ රසායනාගාරය වන ලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් හි විශේෂත්වයන් අතරට පුළුල් පරාසයක පැතිරුණු පරීක්ෂාවන් සිදු කිරීම, පූර්ණ කාලීන වෛද්‍ය විශේෂඥයන් සෑම දෙපාර්තමේන්තුවකම ප්‍රධානීන් ලෙස කටයුතු කිරීම, අති නවීන පහසුකම්වලින් සමන්විත වීම සහ ලොව දියුණුතම උපකරණ හා උපාංග පැවතීම ආදිය විශේෂයෙන් සඳහන් කළ හැක. එමෙන්ම අන්තර්ජාතික තලයේ නිර්දේශ හා ප්‍රමිතීන් නිවැරදිව අනුගමනය කරමින් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් හැමවිටම කටයුතු කරයි.

කොටස් 8කින් සමන්විත ලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් නිර්දේශ වෛද්‍ය රසායනාගාරය පුර්ණකාලීන රසායනාගාර වෛද්‍ය විශේෂඥයන් 6 දෙනෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. මෙම අංශ අතරට රක්තවේද, අණුක ජීව විද්‍යා, ක්‍ෂුද්‍ර ජීව විද්‍යා, ගැලීම් සෛලමිති, සෛල ප්‍රවේණි විද්‍යා, පටක ව්‍යාධිවේද, ප්‍රතිශක්ති විද්‍යා සහ මස්තු වේද හා ජීව රසායන විද්‍යා යන අංශ ඇතුළත් වී ඇත.

ලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් හි උපකරණ හා උපාංග දිනපතාම ඒවාට අදාළ ප්‍රමිතීන් සහ සම්මත මෙහෙයුම් ක්‍රමවේදවලට අනුව පරීක්ෂාවන්ට ලක්වන අතර සෑම පරීක්ෂණ වාර්තාවක්ම රසායනාගාර වෛද්‍ය විශේෂඥයෙකුගේ පරීක්ෂාවට ලක් වේ. මේ නිසා සෑම විටම ඉතාමත් නිවැරදි ප්‍රතිඵල ලබාදීමට එම රසායනාගාරයට හැකියාව ලැබී ඇත. මෙරට වැඩිම පරීක්ෂණ වර්ග ගණනක් සිදුකරන වෛද්‍ය රසායනාගාරය වන ලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් තුළ සිදුකරනු ලබන පරීක්ෂණ සංඛ්‍යාව 1000 කට අධිකය. පළමු වසර තුළදී නව පරීක්ෂණ වර්ග 250කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වාදීමට එම රසායනාගාරය පියවර ගත් අතර එම පරීක්ෂණ අතරින් 80 ක් පමණ පරීක්ෂණ මෙරටදී සිදු කිරීමේ හැකියාව ඇත්තේ ලංකා හොස්පිට්ල්ස් නිර්දේශ වෛදය රසායනාගාරයට පමණි.

ලංකා ප්‍රමිති ආයතනය වෙතින් ISO 15189 සහතිකය හිමිකරගත් ප්‍රථම රෝහල් රසායනාගාරය වන්නේදලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් රසායනාගාරයයි. එමෙන්ම එය මේ වන විට අමෙරිකානු ව්‍යාධිවේද විශේෂඥයන්ගේ විද්‍යාලයේ (College of American Pathologists) තත්ත්ව සම්මානය හිමිකරගැනීම සඳහා අවශ්‍ය දැඩි පරීක්ෂණ ක්‍රියාවලියට මුහුණ දෙමින් සිටී.


නව අදහස දක්වන්න

Or log in with...