මත් උවදුර මර්දනයට සිසු සහාය ලබාගන්න කොළඹ පාසල් 12ක සහභාගිත්වයෙන් වැඩසටහන් | දිනමිණ

මත් උවදුර මර්දනයට සිසු සහාය ලබාගන්න කොළඹ පාසල් 12ක සහභාගිත්වයෙන් වැඩසටහන්

වයිමන් හෙට්ටිආරච්චි

 මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවන පිරිස් විශේෂයෙන් පාසල් සිසුන්ය. ඔවුන් ඉන් මුදාගැනීම සඳහා සිසුන්ගේම සහයෝගයෙන් ඉලක්ක කරගෙන වැඩපිළිවෙළක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ව්‍යාප්ත කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදෙසින් දීපව්‍යාප්තව සිදුකෙරෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මාසයේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම කාර්යය සිදුවන්නේ දිස්ත්‍රික් ලේකම් එච්. ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහි පළමු පියවර වශයෙන් පාසල් 12කින් තෝරාගත් සිසුන් 120 දෙනකු සහභාගි කරවාගෙන ඔවුන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඉකුත් 29දා පැවැත්විණ.

විශේෂඥ වෛද්‍ය මනෝජ් පෙරේරා මහතා මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ අතර දිස්ත්‍රික් ලේකම් එච්. ටී. කමල් පත්මසිරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහත්වරුන් සහකාර දිස්ත්‍රික් ලේකම් දිල්රුක්ෂි වල්පොළ මහත්මියත් මෙම සිසු පිරිස දැනුමින් තව තවත් පෝෂණය කළහ. මෙම සිසුන් කණ්ඩායම් කීපයකට බෙදා හැකිතාක් පාසල්වල මෙබඳු සම්මන්ත්‍රණ මෙහෙයවීම මෙම මාසය පුරා සිදු කෙරේ. මේ සඳහා විදුහල්පතිවරුන් හා ආචාර්යමණ්ඩලවලත් අනුග්‍රහය ලබාගැනේ. අවශ්‍යතාවය අනුව වැඩිහිටියන් ද මෙම සම්මන්ත්‍රණවලට සහභාගි කරගැනේ. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර ප්‍රබල ගැටළුවක්වී ඇති අන්දම විස්තර කරමින් මෙහිදී කතාකල දිස්ත්‍රික් ලේකම් කමල් පත්මසිරි මහතා පවුල් ගැටළු තරුණ තරුණියන්ගේ දිවිනසා ගැනීම්, දුගීකම, මාරාන්තික රෝගවලට ගොදුරුවීම් මුළු ලංකාවම වෙලාගෙන ඇති බව කීය.

නගරයට සීමාවී තිබූ මෙම මත්ද්‍රව්‍ය හා මත්පැන් දැන් දැන් ගම්දනව් වෙලාගෙන සිටී. මේවා මැඩලීම සඳහා දැඩි නීති පැනවිය යුතුයි. මත්ද්‍රව්‍ය කන්ටේනර් පිටින් එනවා. මේවා මැඩපැවැත්වීමට දැඩි නීති පැනවිය යුතු යැයි ද හෙතෙම පැවසීය.


නව අදහස දක්වන්න