තිස්සමහාරාම ජනතාව සජිත් හරසරින් පිළිගනිති | දිනමිණ

තිස්සමහාරාම ජනතාව සජිත් හරසරින් පිළිගනිති

 හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවර එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහා මැතිවරණයට වඩා පනස් දාහක් වැඩිපුර ලැබුවා යැයයි සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවේ ජයග්‍රහණය වෙනුවෙන් තිස්සමහාරාම නගරයේ පැවැති පිළිගැනීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

වැඩිම මනාප ප්‍රතිශතයක් ලබාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එජාප වේදිකාවේ සිට තමා සුබ පතන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.

හම්බන්තොට එත්සත් ජාතික පක්ෂයට ඡන්දය දීපු එක්ලක්ෂ තිස් දාහකින් මට මනාප එක් ලක්ෂ දොළොස් දාහක් දීල සියයට අසූ හයක මනාප ප්‍රතිශතයක් දීල ලංකාවේ වැඩිම මනාප ප්‍රතිශතය ලැබූ අයගෙන් දෙවැනි තැනට මාව පත් කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට ජනතාවට මම ස්තුතිය පුදකරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ අපේ දුන් පොරොන්දු ඉටු කරන්නට අපි කැප වෙනවා. මැතිවරණය වෙනුවෙන් රැස්වීම් එක්දහස් එකසිය හතළිස් හතක් තියලා අපිට විශාල ජන රැල්ලක් ඇති වුණා. ඒ වුණත් ඒ රැල්ල ඡන්ද බවට පෙරළන්න අපිට බැරිවුණා.

මනාප ප්‍රතිශතය අනුව ලංකාවේ පළමු තැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට දෙන්න කුරුණෑගල ජනතාව තීන්දු කළා. ලංකාවේ මනාප දෙවැනි ප්‍රතිශතය ලබා ගත යුත්තේ සජිත් ප්‍රේමදාස බව හම්බන්තොට ජනතාව තීන්දු කළා. ඒ තීන්දුවට මං ගරු කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම වටරවුම අසලදී පිළිගෙන දැවැන්ත පෙරහරකින් කැඳවා ගෙන එනු ලැබූ අතර රුපියල් දහසේ නෝට්ටු 200 කින් සාදන ලද මල් මාලා දෙකක් ද පළඳවන ලදී. උත්සව සභාව සඳහා අති විශාල ජනකායක් එක්ව සිටිය හ.


නව අදහස දක්වන්න

Or log in with...