දොඩන්ගොඩ පොදු වෙළෙඳ පොළේ කඩ කාමර රැසක් නිකරුණේ වහලා | දිනමිණ

දොඩන්ගොඩ පොදු වෙළෙඳ පොළේ කඩ කාමර රැසක් නිකරුණේ වහලා

 දොඩන්ගොඩ නගර මධ්‍යයේ රමණීය පරිසරයක පිහිටි දොඩන්ගොඩ පොදු වෙළෙඳ පොළ විදුලිබල පහසුකම් නොමැතිව හරි අඩක් වෙළෙඳසල් වසාදමා පාළු අම්බලමක තත්ත්වයට පත්ව තිබේ.

වෙළෙඳ පිරිස් පොරකමින් කඩ කාමරයක් සොයා රටපුරා ඇවිදින යුගයක මේ වෙළෙඳ සංකීර්ණයට සිදුවූ ඉරණම සෝචනීය වේ.

කඩ කාමර 39කින් යුතුව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි පරලෝසැපත් රෙජිනෝල්ඩ් විජේගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් එවකට ක්‍රියාත්මක දොඩන්ගොඩ සංවර්ධන සභාවේ උප කාර්යාලය විසින් ඉදිකළ 1982 ජූලි මස 10 වන දින එවකට හිටපු වෙළෙඳ හා නාවික අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා අතින් විවෘතව ජනතා අයිතියට පැවරූ දොඩන්ගොඩ පොදු වෙළෙඳ පොළ සංකීර්ණයේ කඩ කාමර 14ක් ම විදුලිබලය නොමැතිවීම හේතුකොට වසා දමා ඇති අයුරු දැකිය හැකිය.

අද මේ ගොඩනැගිල්ල පාලනය වන්නේ දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවෙහි මුල් අවදියේ සිටි කඩහිමියන් එම කඩ නිසි අයුරින් පරිහරණය නොකිරීම නිසා විදුලි බිල්පත් ගෙවීම් පැහැර හැරීම නිසා විදුලි බල මණ්ඩලය විදුලි මීටරය පවා ගලවාගෙන ගොස් තිබේ.

වසර 20 – 30ක් තිස්සේ මේ ගොඩනැඟිල්ලේ අඩුපාඩු ප්‍රාදේශීය සභාවට කීවත් ඉටුකර දුන්නේ නැතැයි ව්‍යාපාරිකයෝ පවසති. මේ ගොඩනැගිල‍්ලේ ස්ථාන කීපයක් තෙමෙනවා. ඒක හදනවා වෙනුවට මුළු වහලම ගලවන්න හදනවා. ඇයි වහලේ තියෙන වටිනා දැව අරගෙන වෙනත් දේවල් යොදන්න සැලසුම් කරලා. අඩුම තරමින් වෙළෙඳ ව්‍යාපාරිකයින්ට බොන්න ජල පහසුකමක් ඉල්ලූවිට ප්‍රාදේශීය සභාව අහක බලාගත්තා. වෙළෙඳ ව්‍යාපාරිකයින් සුළු පිරිසක් එකතුවෙලා මුදල් යොදවලා වතුර ටිකක් බොන්න පුංචි ජල ටැංකියක් හදාගත්තා.

මේ ‍සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ ටී. කේ. සුමනසිරි මහතා, මෙම ගොඩනැගිල්ලේ කඩයක් හිමි ව්‍යාපාරික මහත්මයෙක්.

මීට වසර කීපයකට පෙර ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලේ දැන් බිත්ති පුපුරලා පොළොවේ සිමෙන්ති තට්ටු ගැලවී ගිහිල්ලා හරියට ජලය බැසයන කාණු පද්ධතියක් නැහැ. අපි මේ ගොඩනැඟිල්ල ආරක්ෂා කිරීම සඳහා අඩුපාඩු තිබුණත් දාල යන්නේ නැහැ. අපේ එකම ඉල්ලීම අවශ්‍ය පහසුකම් දීල මේ ගොඩනැගිල්ල මේ නගරයේ තියෙන හොඳම වෙළඳ පොළ බවට පත්කරන ලෙසයි. නගරය දිනෙන් දින දියුණු වෙනවා. දැන් නගරයකට අවශ්‍ය සියලු පහසුකම් තියෙනවා. ඒත් මේ ප්‍රදේශයේ ඉන්න මහජන නියෝජිතයින්ගෙන් කිසිම සහනයක් නැහැ. ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ජල නළ පද්ධතිය හන්දිය පේනතෙක් මානයේ තිබෙනවා. (මීටර් 500 දුරින්) ඒත් හන්දියට අවශ්‍ය පානීය ජලය ලබාදීමට බලධාරීන් නිහඬයි.

මෙම වෙළෙඳ සංකීර්ණයේ මැහුම් ශිල්පිණියන් ලෙස ව්‍යාපාරය පවත්වාගෙන යන නිල්මිණි ප්‍රියදර්ශනී (48) මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙම ව්‍යාපාරය ආරම්භ කළේ වසර 15කට පෙරයි. මගේ වෙළෙඳ පොළේ විදුලිය නෑ. මම මැෂින් උපයෝගි කරගෙන වැඩකරන්නේ අල්ලපුකඩේ තියාගෙන හොඳ වෙලාවට ඒ කඩ කාමරයෙන් විදුලිය කපන්න ආවාම මමත් උදව් වෙලා ‍විදුලි බිල ගෙවලා විදුලිය ‍රඳවාගත්තා.


නව අදහස දක්වන්න

Or log in with...