අඩක් නිමකළ බලන දුම්රිය ස්ථානයේ වම්පස පදික වේදිකාවෙන් මඟීන්ට බාධා | දිනමිණ

අඩක් නිමකළ බලන දුම්රිය ස්ථානයේ වම්පස පදික වේදිකාවෙන් මඟීන්ට බාධා

 කොළඹ පේරාදෙණිය දුම්රිය මාර්ගයේ ද්විත්ව දුම්රිය මාර්ගයක් සහිත බලන දුම්රිය ස්ථානයේ වම්පස පදික වේදිකාව ඉදිකිරීම සම්පූර්ණ කර නොමැති වීම හේතුවෙන් මඟීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටී .

වම්පස පදික වේදිකාව අර්ධ වශයෙන් ඉදිකර තිබීම හේතුවෙන් එම දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රියන් හි මැදිරි කිහිපයක් පදික ‍වේදිකාවක් නොමැති ස්ථානයක නතර කිරීම හේතුවෙන් මඟින්ට දුම්රියට ගොඩවීමේ අපහසුතාවය දැඩිව පවතී.

බොහොමයක් මඟීන් දුම්රියෙන් බසින්නට පුරුදුව ඇත්තේ අනෙක් දුම්රිය මාර්ගය වෙතටය. රාජකාරි සදහා යන එන මඟීන් පාසල් දරුවන් වැඩිහිටියන් වැසි දිනවල මෙන්ම දිනපතා රාත්‍රි කාලයේත් අළුයම් කාලයේත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණපාන බව මඟීන් පවසති. දුම්රියෙන් බැසීමට යන අවස්ථාවල දුම්රිය මාර්ගයට ඇදගෙන වැටී‍මටත් අනෙක් දුම්රිය මාර්ගයෙන් වෙනත් දුම්රියක් පැමිණීම හේතුවෙන් අනතුරකට ලක්වීමේ අවස්ථා බහුල බවද එවන් අවස්ථා වල මඟීන් මෙන්ම දුම්රිය ස්ථානයේ නිළධාරින් ඇතුළු කාර්යය මණ්ඩලයද දැඩි අපහසුතාවයට පත්වන බව මඟීහු පවසති.

බලන දුම්රිය ස්ථානයේ දකුණුපස පදික වේදිකාව සම්පූර්ණයෙන් ඉදිකර ඇති අතර ඊය සමාන්තරව වම්පස පදික වේදිකාවද ඉදිකල යුතු වුවත් එසේ ඉදි නොකිරීම හේතුවෙන් දුම්රියෙන් බැසීමට සහ නැගීමට සිදුවන්නේ , කැලෑ පෙදෙසට හෝ අනෙක් දුම්රිය මාර්ගය වෙතටය.

මේ පිළිබඳ බලන දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ, මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ස්ථානයේ රාජකාරියේ නියුතු කාර්යය මණ්ඩලය සහ මඟීන් පත්වන අපහසුතාවය සහ පීඩාවන් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් දැනුවත් කර ඇති බවය.

නව අදහස දක්වන්න