විදෙස් වෙළෙඳාම නැවුම් දිසාවකට | දිනමිණ

විදෙස් වෙළෙඳාම නැවුම් දිසාවකට

සැප්තැම්බර් මාසය උදාවෙත්ම බැංකු පොලී අනුපාත වෙනස්වීමක් සිදුවනු ඇත යන අදහසක් මූල්‍ය ක්ෂේත්‍රය තුළ පැතිර ගියේ අගෝස්තු මස මැද භාගයේදීය. එහෙත් එවැන්නක් සිද්ධ වූයේ නැත.

බැංකු පොලී අනුපාත පිළිබඳ කිසිදු වෙනසක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.

ලෝක ඉන්ධන මිල සහ චීන ආර්ථිකයේ පසුබැස්ම ගැන මේ වන විට ආර්ථික ක්ෂේත්‍රය විමසුම් මත පළකරන අතරතුර අගෝස්තු මාසයේ අග ඉන්දියාව සිය ඉන්ධන මිල තවත් අඩු කළාය. මේ අගෝස්තු මාසයේ තුන්වන මිල අඩු කිරීමයි. පෙට්‍රල් ලීටරය රුපියල් දෙකකින් ඒ අනුව අඩුවිය.

මේ අතර ලොව මෙතෙක් හමුවූ විශාලතම ස්වභාවික ගෑස් නිධිය හමුවූ බව ඊජිප්තුව නිල වශයෙන් නිවේදනය කළාය. මධ්‍යධරණී මුහුදේ ඊජිප්තු දේශසීමාවට අයත් මුහුදේ ගවේෂණ කටයුතු කළ ඉතාලි සමාගමක් විසින් සොයාගන්නා ලද මේ ගෑස් නිධිය වර්ග කි. මී. 60ක් විශාලය‍. ඝණ අඩි ට්‍රිලියන 30ක ධාරිතාවයකි. ශ්‍රී ලංකාව ද මන්නාරම් දෝනියේ ස්වාභාවික ගෑස් නිෂ්පාදනයට පෙරුම්පුරන රටකි. ඒ සඳහා අවශ්‍ය පාර්ශ්වකරුවකු සොයාගැනීම ශ්‍රී ලංකාවේ ඉදිරි පියවරයි.

ඊජිප්තුවේ ගෑස් නිධිය දැන් ඊශ්‍රායලයේ උදහසට ලක්ව තිබේ. ඊශ්‍රායලය බලා සිටියේ ඔවුනගේ ලෙවියාදන් නම් ගෑස් නිධියේ ගෑස් ඊජිප්තුවට විකිණීමටය. දැන් ඇතිවී තිබෙන තත්ත්වය අනුව ඊජිප්තු ගෑස් නිධිය දේශපාලණකරණය වී තිබේ. මේ තත්ත්වය ශ්‍රී ලංකාවටද නිහඬ අවවාදයක් සපයයි.

 

අස්වනු සමය

මේ යල අස්වනු නෙළන කාලයයි. අප්‍රේල් - මැයි වපුරන වී අගෝස්තු සහ සැප්තැම්බරයේ දී කපා අස්වනු ගෙට ගැනීම වී ගොවියාගේ ක්‍රියා කලාපයයි. මෙවර වී මිලදී ගැනීම සඳහා රජය දස ලක්ෂ 6000ක් වෙන්කර තිබේ. වී මෙට්‍රික් ටොන් 1,20,000ක් මිල දී ගැනීමට අපේක්ෂා කරන නමුත් සම්පූර්ණ අස්වැන්න ඊට වඩා වැඩියට.

සාමාන්‍යයෙන් යල කන්නයේ වී වගාවට වෙන්වන බිම් ප්‍රමාණය අඩුය. එළවලු, රටලූනු , මිරිස් ආදී සෙසු වගාවන් බොහොමයක් යල කන්නයේ දී වගා කැරේ. 2014 යල කන්නයේදී වී වගාවට වෙන් වූ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 312979ක් වුව ද, මහ කන්නයේ වීවගාවට වෙන්වූ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 657289 කි. මේ අයුරින් සෑම වසරකම මහ කන්නය යනු විශාලම වී අස්වැන්නක් රටට හිමිවන වගා කන්නයයි.

අස්වනු සමය උදාවීමත් සමඟ වී ගබඩා ප්‍රශ්නය උද්ගත වේ. පාසල් ගොඩනැගිලි, බණ මඩු, සමිති සමාගම් ගොඩනැඟිලි පමණක් නොව, විශාල කූඩාරම් පවා අටවා වී තොග ගබඩා කිරීම අස්වනු සමයේදී සුලභ දර්ශනයකි.

මෙවර ගබඩා ප්‍රශ්නයට තාවකාලික වූ විසඳුමක් වූයේ මත්තල ගුවන් තොටුපොළේ ගබඩා සංකීර්ණයයි. අඩු තරමින් සරුංගල් තරගයක් හෝ පවත්වා මත්තල ගුවන් තොටුපොළ සංකීර්ණයෙන් ප්‍රයෝජනයක් ගැනීම සතුටට කරුණකි. මේ වී ගබඩා පාවිච්චියට ගන්නේ කුලී පදනමකින් නිසා ගුවන්තොටට යම් ආදායමක් හිමිවේ.

යල කන්නය හමාර වත්ම මාස් කන්නයට සූදානම් වීම ගොවියාගේ සිරිතය. සැප්තැම්බර් 25 – 26 මාස් සමයේ වැසි සමය ඇරැඹී, අගෝස්තු නියඟ නිමාවන බව රජරට ගොවියාගේ පාරම්පරික විශ්වාසයයි.

සැප්තැම්බරයේ - ඔක්තෝබරයේ මාස් කන්නයේ වී වගා ඇරැඹේ. එම වගාවන්හි අස්වනු නෙළීම මීළඟ මාර්තු අප්‍රේල් කාල පරාසයයි. මාස් කන්නයේ වී වගාවට වෙන්වන බිම් ප්‍රමාණය වැඩිවන්නාසේම අස්වැන්න ද වැඩිවීම නියතය.

උදාහරණ ලෙස ගතහොත් 2014 යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් 1,144,929ක් වුවද, මාස් කන්න‍ෙය් අස්වැන්න මෙට්‍රික් ටොන් 2,235851 දක්වා ඉහළ ගියේය.

මඩකළපුව, අම්පාර, මහවැලි කලාප, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල අධික අස්වැන්න සහිත වී වගා ප්‍රදේශයි. ඒ නිසා ඒ ආශ්‍රිතව ලබන මාස් කන්නය සඳහා ගබඩා පහසුකම් සඳහා කල්තබා සූදානම් කරගත්තේ නැත්නම් බරපතළ ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ.

 

මොල් හිමියෝ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේ ජාතික කෘෂිකාර්මික අධිකාරියක් ස්ථාපිත කර වී ගොවිතැන් කටයුතුවල නිරත ගොවියාගේ නිෂ්පාදනය සඳහා වන ගැටලු එයට බාර කරන බවයි. එවැනි අධිකාරියක් ඉන්දියාවේ ක්‍රියාත්මක වේ. එසේම යල කන්නයේ වී ගබඩාවල ඇති වී තොග රජයේ පිළිගත් ප්‍රතිපත්තින්ට අනුකූලව වහා විකුණා ගබඩා ඉඩකඩ ලබාගත යුතුව ඇති බවයි. ඒ සඳහා අදාළ අංශවලට දැනටම උපදෙස් දී තිබේ. ජනාධිපතිතුමා සමඟ ද සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් අරඹන බව ද අගමැතිවරයා කීවේය.

වී වගාවෙන්ම යැපෙන තවත් ජන කොටසක් ද සිටිති. ඔවූහු වී මෝල් හිමියෝය. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් රාශියක් රටපුරා ක්‍රියාත්මක වෙයි.

විශේෂයෙන්ම කුරුණෑගල, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්කවල වී මෝල් මඟින් යැපෙන විශාල පිරිසක් සිටිති.

පසුගිය කාලය තුළ ඔවුන් නැඟූ චෝදනාවක් වූයේ තම කර්මාන්තය පවත්වාගන යෑම අමාරුවී ඇති බවයි. තමනට රජයේ වී ගබඩාවලින් ප්‍රමාණවත් වී තොග නොලැබෙන බව ඔවුනගේ එක් දුක්ගැනවිල්ලකි. තම බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව ඇතැයි මෝල් හිමියනගේ දුක් ගැනවිලි ඇසෙනවිට ආහාර සුරක්ෂිත ඇමැති, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඔවුනගේ බැංකු ණය සඳහා සහන සැලැසීමට පියවර ගත්තේය.

මේ වී මෝල් සහ දූනගහ සහල් නිපදවන පෞද්ගලික වී මෝල් සතුව ද ප්‍රමාණවත් වී ගබඩා තිබේ. මේ වී මෝල් අතරමග නැවැත්වීම හා වසා දැමීම නවත්වා ඒවා සක්‍රිය කිරීම ද එක අතකින් වී ගබඩා පහසුකම් වැඩිකරගැනීමේ ක්‍රම වේදයකැයි කීමට පිළිවන. වී මෝල් හිමියන්ගේ අදහසනම් පසුගිය කාලයේ විදේශීය බාල සහල් රට තුළට ගෙනඒම තමනට වැදුණ බරපතළ ප්‍රහාරයක් බවයි.

 

පැරැණි ක්‍රමය

වී ගබඩා කිරීම සඳහා පාරම්පරිකව ගොවි ගෙදරවල තිබුණු වී බිස්ස සහ වී පෙට්ටි අභාවයට යෑමට ඉඩ නොතැබිය යුතු යැයි ඇතැම් ගොවීහු පවසති. වී බිස්ස ප්‍රයෝජනයට ගන්නා ගොවි ජනතාවක් තවම හත්කෝරළයේ සුලභය. එසේම වී පෙට්ටි භාවිතාවන විහාරාරාම සහ නිවාස ද තිබේ. කන්නයක් පුරා තමනට අවශ්‍ය වී තොග මේ අයුරින් ආරක්ෂා කර ගැනීමේදී ඉපියන්ගෙන් ආරක්ෂාවීම සඳහා කොහොඹ කොළ සහ වෙනත් කොළ වර්ග භාවිතා කළ බවද ගොවි මහත්වරු පවසති‍.

බාල වී වැඩිමල් වී වශයෙන් විවිධ කාල පරාසයන්ට අයත් වී ප්‍රභේද රාශියක් අප සතුව පවතී. විවිධ ප්‍රභේදයනට අනුව වී වගා කිරීමෙන් අස්වැන්න නෙළාගැනීමේ කාල පරාස වෙනස් වේ. පාරම්පරිකව එවැනි වගා ක්‍රම මඟින් ගබඩා පහසුකම් ප්‍රශ්නයට විසඳුම් ලැබුන බව රජරට ගොවි මහ‍ෙතකුගේ අදහසයි.

 

වියදම් ප්‍රශ්නය

හිඟුරක්ගොඩ සමූපකාර මාවතේ පදිංචි වෘත්තීය ගොවියකු වන එම්. එච්. සාරානාත් වී ගොවිතැන් නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති අන්දම විස්තර කළේය.

ඔහු පවසන අන්දමට කුඹුරු අක්කරයක නියරවල් රැහීමට සහ බැඳීමට පමණක් රුපියල් 6500/-ක් සහ දින 21/2 ක ශ්‍රමයක් වැය කළ යුතුවේ. අක්කරයක සී සෑම සඳහා ට්‍රැක්ටර් ගාස්තුව රුපියල් 7000 -8000 අතරය. වැපිරීම සඳහා අක්කරයට රු.2500/-ක් වැයවේ. බිත්තර වී සඳහා යන වියදම රුපියල් 2500/-කි. වපුරා දින 6කින් වල්නාශක සඳහා රුපියල් 2000/-ක් වැය කළ යුතුය.

කෘමිනාශක සඳහා රුපියල් 1000/-කි. පෝර සඳහා රුපියල් 1300කි. මාස 31/2 -4 කාලයක් කුඹුර ආරක්ෂා කරගත යුතු අතර ජලපහසුකම් සැපයීම් ගැන විමසිලිමත්ව සිටිය යුතුය. අවසානයේ අක්කරයක අස්වැන්න ‍ෙනළීමට රුපියල් 9000/- ක් වැයවේ. අනතරුව කුඹුරේ සිට වී ප්‍රවාහන සඳහා ද මුදල් වැය කළ යුතුය.

අස්වැන්න වශයෙන් අක්කරයකින් වී බුසල් 80ක් ලබා ගැනීමට පිළිවන. ගොවියා මේ ලබන ආදායමට ඔහුගේ මාස 4 කාල සීමාවක ශ්‍රමයේ ද අගය එකතු කළ යුතු වේ.

එහෙයින් වී නිෂ්පාදනයේ වියදම් අඩු කිරීමේ සැලසුමක් අවශ්‍ය බව ඔහුගේ අදහසයි.

 

වෙළෙඳ ගනුෙදනු

අග්නිදිග ආසියාවේ ප්‍රබල ආර්ථික ශක්තියක් සහිත මැලේසියාව ලෝක මූල්‍ය දර්ශකයේ 22 වන මූල්‍ය වෙළෙඳ පළ වන ක්වාලාලාම්පුරය සිය අගනුවර කැරගත් රටකි. තෙල් හා ගෑස් කර්මාන්තය මෙන්ම ඉලෙක්ට්‍රොනික්, යන්ත්‍ර සූත්‍ර ආදිය නිෂ්පාදනය අතින් ද දැන් දියුණුය.

ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර ඇති වෙළෙඳ ගනුදෙනු අනුව අප රටේ සංවර්ධනයට ඔවුහු දායක වෙති. මලයාසියාවේ වෙළෙඳ කවුන්සල නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ අප රට සමඟ සබඳතා වැඩි දියුණු කර ගැනීමට කැමැත්ත පළ කර ඇත.

ඉදිකිරීම් අංශය, දොපෝළ සංවර්ධනය, දුම්රිය අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය, වරාය හා නැව්තොට දියුණු කිරීම, නිවාස හා ඉඩකඩම් අංශය සහ සංචාරක අංශය යන අංශයන්ගෙන් ව්‍යාපාරික අංශයෙන් ශ්‍රී ලංකාව සමඟ සහසම්බන්ධවීමටත්, මලයාසියා සහාය ලබාදීමටත් MATRADE නම් මලයාසියා වාණිජ මණ්ඩලය සූදානම් ය.

එම ආයතනය මලයාසියාවේ වෙළෙ හා කර්මාන්ත අමාත්‍යංශය යටතේ ස්ථාපිත කරන ලද්දකි‍.

ශ්‍රී ලංකා චේම්බර්ස් ඔෆ් කොමර්ස් ආයතනයේ ඇරියු‍ෙමන් මලයාසියා දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ මේ කටයුතු ගැන සාකච්ඡාවක්ද පැවැත්වීය. එහිදී මේ ආයතනයේ කාර්යාලයක් කොළඹ නගරයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා පාර්ශ්වය ක්‍රියා කළේය.

මලයාසියාවේ ප්‍රාදේශීය කාර්යාල කීපයක් පමණක් නොව, යුරෝපය, ඇමෙරිකාව, ලතින් ඇමෙරිකාව, නැ‍ඟෙනහිර ආසියාව, මධ්‍යම ආසියාව, ඔස්ට්‍රේලියාව සහ අප්‍රිකාව යන වාණිජ කලාප ආවරණය වන අන්දමේ ශාඛා, කාර්යාල පද්ධතියක් ද MATRADE ආයතන සතුය.

මලයාසියාව ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන රටකි. ශ්‍රී ලංකාවේ දේශීය රබර් කර්මාන්තය වාණිජ වශයෙන් මෑතක සිට දුබලව පවතී. මලයාසියාව මධ්‍යස්ථානය කැරගත් ලෝක ස්වභාවික රබර් නිෂ්පාදකයන්ගේ සමුළුව ඔස්සේ එම රට අපේ රබර් කර්මාන්තයට උදව් උපකාර කිරීමට ද ඉදිරිපත් වූ රටකි.

අධිරාජ්‍යවාදී යුගයේදී ශ්‍රී ලංකා‍වෙන් මලයාසියාවට සිංහල ජාතික ව්‍යාපාරික බොහෝ දෙනෙක් දැන් තම මව්රට ලෙස මලයාසියාව තෝරාගෙන තිබේ.

 


කැබිනට් මණ්ඩලය සහ සංවර්ධන ඉලක්ක

 

සිකුරාදා දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය ආර්ථික සංවර්ධනය ඉලක්කය කර තිබෙන බව නව අමාත්‍යංශ කීපයක් ස්ථාපිත කිරීමෙන් පැහැදිලි වේ.

ප්‍රතිපත්ති සැකසීම අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින අතර දකුණු පළාත් සංවර්ධනය, බස්නාහිර පළාත් සංවර්ධනය, නාගරික සංවර්ධනය උඩරට ග්‍රාමීය සංවර්ධනය, වයඹ පළාත් සංවර්ධනය, සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය යන විෂයන් සදහා වෙන වෙනම අමාත්‍ය ධුර ස්ථාපිත කිරීමෙන් ඒ බව පැහැදිලි වේ.

රාජ්‍ය ව්‍යවසායයන් විශාල සංඛ්‍යාවක් පාඩු පිට පවත්වාගෙන යන නිසා ඒවා ලාභ ලබන ආයතන බවට පත් කර ගත යුතුව තිබේ. එසේම පාර්ලිමේන්තුවේ බලය යළි තහවුරුවීමට ද මග පැදීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමකි. පාඨලී චම්පික රණවක ඇමැතිවරයාට නවතම අමාත්‍යංශයක් හිමිවිය. එය මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයයි.

1977 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ද තම අමාත්‍යාංශයක් ස්ථාපිත කෙළේය. එය මහවැලි සංවර්ධන අමාත්‍යංශයයි. එමගින් අති දැවැන්ත මහවැලි සංවර්ධන ව්‍යාපාරය ක්‍රියාවට නඟන ලදී. ඇමැතිවරයා වූයේ ගාමිණී දිසානායක ඇමැතිවරයාය. විවිධ ගැරහුම්, විවේචන හා චෝදනා මැද ක්‍රියාත්මක වූ මහවැලිය මේ වනවිට ජාතික ආර්ථිකයට නව වගා බිම් පමණක් හෙක්ටයාර් 19334ක් අලුතින් එකතු කර තිබේ. එයින් හෙක්ටයාර් 130510යටම ඇත්තේ වී වගාවටය.

අලුතින් ස්ථාපිත කළ මහා නගර (MEGAPOLIS) අමාත්‍යාංශයේ විෂය පථය වන්නේ මීගමුව සිට බෙන්තොට දක්වා වූ සමස්ත බස්නාහිර පළාතම දියුණු කිරීමය.

මහ නගර සංකල්පය පිළිබද මූලික සැලැස්මක ඉතිහාසය 2004 දක්වා ඈතට විහිදෙයි. එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැත.‍ මේ සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ ප්‍රංශ ජාතික JEAN GOLLMANN (1915- 1994) විසින් යැයි වාර්තා වේ. ඔහු මේ සංකල්පය මගින් 1961 දී යෝජනා කෙළේ බොස්ටන් සිට වොෂින්ටන් දක්වා වූ කලාපය නව නාගරික ජනාවාසයක් ලෙස සවිබල ගැන්වීමයි. ඇමෙරිකාවේ බලධාරීන් MEGAPOLIS සංකල්පය ක්‍රියාත්මක කෙළේ ඊට පසුවය. අද මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් විවිධ ස්වරූපයෙන් මේ සංකල්පය ක්‍රියාත්මක කර ඇත. මේ ව්‍යාපෘති MEGALOPOLIS නමින් ද හැදින්වේ.

ඉන්දියාව මේ සංකල්පය ක්‍රියාත්මක කෙළේ චාමිනා සහ සීකන්දර්බාද් යන නගර දෙක එකාබද්ධ කොට හයිඩර්බාද් යනුවෙන් නම් කිරීමෙනි. පසුගිය මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය අලුතින් මෙවැනි නගර 100ක් ගොඩනගන බවට පොරොන්දු විය. මුම්බායි සහ පුනා නගර එම වැඩපිළිවෙළ අනුව නැවතකල එළි වෙමින් පවතී.

චීනයේ SHENZHEN නගරය 1990 දී කුඩා ජනාවාසයකි. ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ මසුන් මැරීමයි. මුළු ජනගහනය ලක්ෂයකට අඩුය. විශාල කර්මාන්ත වෙනුවට තිබුණේ කුඩා ව්‍යාපාර පමණී. වර්තමාන චීන ආර්ථික නවෝදයේ නිර්මාතෘවරයා වන ඩෙංග් සියාවේ පෙන්ග් 1990 වස‍ෙර් මේ ප්‍රදේශයේ කළ සංචාරයේ දී SHENZHEN ප්‍ර‍ෙද්ශය සංවර්ධනයට කටයුතු සැලසුම් කෙළේය. විශේෂ ආර්ථික කලාපයක් ලෙස එම ප්‍රදේශයේ සංවර්ධනයට දායකවූවන්ට බදු නිදහස ප්‍රදානය කරන ලදුව තයිවාන් හා හොංකොංහි ආයෝජකයෝ එහි ව්‍යාපාර හා කර්මාන්තශාලා ආරම්භ කළහ. දැන් එය විශේෂ ආර්ථික කලාප අතර ප්‍රමුඛත්වයට පත්ව තිබේ. ජනගහනය ලක්ෂ 70 කි. ඇමෙරිකාවේ චිකාගෝ නගර ජනගහනය මෙන් දෙගුණයකි.

ලෝක ජනගහනයේ ව්‍යාප්තිය දෙස බලන කල නාගරිකරණය වඩ වඩා වේගයෙන් සිදුවේ. 2025 වන විට ලෝක ජනගහනයෙන් හරි අඩක් නගරවල ජීවත්වෙතැයි විශ්වාස කෙරේ. 1900 වන විට ලෝකයේ මහා නගර තිබුණේ කීපයකි. එහෙත් අද තත්ත්වය ඊට වෙනස්ය. නගර කරා ඇදෙන ජනගහනය උකහා ගැනීම මහා නගර සංකල්පයේ එක අරමුණකි. එසේම අංග සම්පූර්ණ පහසුකම් සහිතව නගර නැවත නිර්මාණය ද එහි තවත් ලක්ෂණයකි.

ඉකොනොමිස්ට් සගරාව චීනයේ MEGAPOLIS නගර ගැන සමික්ෂණයක් කළාය. චීනයේ එවැනි ව්‍යාපෘති 13ක් දැනට ක්‍රිය‍ාත්මක වන බව එම සඟරාව කියයි. මහා ෂැංහයි ව්‍යාපෘතිය සහ පර්ල් ගංගා ඩෙල්ටා ව්‍යාපෘතිය ඉන් ප්‍රධානය. යෝජිත JING- JIN- JI ව්‍යාපෘතිය ඇමෙරිකාවේ කැන්සාස් ජනපදය තරම් විශාලත්වයෙන් යුතුය.


නව අදහස දක්වන්න

Or log in with...