‍රොබියලැක් නිල් අහසේ වසන්තය 2015 | දිනමිණ

‍රොබියලැක් නිල් අහසේ වසන්තය 2015

ශ්‍රී ලංකාවේ ජාතික සරුංගල් සංවිධානය වන කයිට් ශ්‍රී ලංකා විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික සරුංගල් සැණකෙළිය 'රොබියලැක් නිල් අහසේ වසන්තය' නමින් සැප්තැම්බර් 12, 13 යන දෙදින පුරා කොළ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වේ. මෙවර සැණකෙළිය පැවැත්වෙන්නේ අටවන වරටයි.

ජාතික සරුංගල් සැණකෙළියට සමගාමීව පවත්වනු ලබන සරුංගල් තරගාවලිය ළමා හා විවෘත යන අංශ දෙක ඔස්සේ පැවැත්වේ. සැප්තැම්බර් 12 වන දින ළමා අංශය සඳහා වන තරගාවලිය පැවැත්වෙන අතර 13 වන දින විවෘත අංශ තරගාවලිය පැවැත්වේ.

වයස අවුරුදු 14ට අඩු ළමුන්ට තේමා තුනක් ඔස්සේ ළමා අංශයට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. වඩාත්ම නිර්මාණශීලී සරුංගලය දේශීය උරුමයන් රැගත් නිර්මාණශීලී සරුංගලය හා මතින් නිදහස් රටක් සංකේතවත් කරන සරුංගලය එම තේමාවන් වේ.

විවෘත අංශය සඳහා තේමාවන් හතරක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. වඩාත්ම නිර්මාණශිලී සරුංගලය, දේශීය උරුමයන් රැගත් නිර්මාණශීලී සරුංගලය හා මතින් නිදහස් රටක් සංකේතවත් කරන සරුංගලය යන තේමාවන්ට අමතරව ‍හොඳම ප්‍රහාරාත්මක සරුංගලය යන තේමාවන් සඳහා මෙම අංශය ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. හොඳම ප්‍රහාරාත්මක සරුංගලය සඳහා කොම්බුව හා වවුලා සරුංගල් පමණක් ඉදිරිපත් කළ යුතු අතර ඒවා ප්‍රමාණයෙන් අඩි 1 1/2ට නොවැඩි විය යුතුයි.

සෑම අංශයකම ජයග්‍රාහකයින් සඳහා කුසලාන පදක්කම් හා සහතික සමඟ යතුරුපැදි, මවුන්ටන් පාපැදි, ජංගම දුරකථන, ඉංග්‍රීසි අධ්‍යාපනික පූර්ණ ශිෂ්‍යත්ව, උසස් අධ්‍යාපනික පාඨමාලා සඳහා අර්ධ ශිෂ්‍යත්ව ඇතුළු වටිනා ත්‍යාග මෙන්ම මුදල් ත්‍යාග ද ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

මෙවර ජාතික සරුංගල් සැණකෙළිය සඳහා ජාත්‍යන්තරය නියෝජනය කරමින් ඉන්දියාවේ මැලේසියාවේ හා ඔස්ට්‍රේලියාවේ සරුංගල් සංවිධාන කිහිපයක් සහභාගී වීමට ද නියමිතය.

තරගාවලිය සඳහා ඉදිරිපත් නොවුණ ද සරුංගල් සැණකෙළිය සමඟ එක් වී විනෝද වීමට ඔබට අවස්ථාව ලැබේ. දවස පුරා සරුංගල් කඳවුරු, වැඩමුළු, මැජික් සංදර්ශන, මුහුණු පින්තාරු, විනෝදාත්මක ක්‍රීඩා, චිත්‍රපට ප්‍රදර්ශන වැනි විශේෂාංග රැසක් සමඟින් එක්වීමට මෙහිදී අවස්ථාව හිමි වේ. එදින නැරඹීමට පැමිණෙන සැමට දවස පුරාවටිනා ත්‍යාග ලබාදීමට අනුග්‍රාහකයින් සහ කයිට් ශ්‍රී ලංකා ආයතනය කටයුතු යොදා ඇත. එදිනට ලංකාවේ ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයින්, ගායකයින් ඇතුළු විශේෂිත පුද්ගලයන් රැසක් සහභාගීවීමට නියමිත අතර ඔවුන් සමඟ කතාබහ කිරීමටත්, ඡායාරූප ලබාගැනීමටත් ඔබට අවස්ථාව හිමි වේ. පවුලේ සැමට විනෝදවීමට මෙම සැණකෙළිය අපූරු අවස්ථාවකි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය 'මතින් නිදහස් රටක්' සංකල්පය ජනතාව අතරට ගෙන යාම සඳහා කයිට් ශ්‍රී ලංකා සංවිධානය සමඟ අත්වැල් බැඳ ගෙන ඇත.

රොබියලැක් ආයතනය ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන අතර ඩිමාක් ආයතනය, සීරියස් ඇකඩමි, ලුමාලා ආයතනය, රේන්කෝ ආයතන, මන්චි ආයතනය, ෆ්ලයි ඇඩ්ස් සම අනුග්‍රාහකත්වය දක්වයි. සේවා සපයන ආයතන ලෙස වෛද්‍ය නෙවිල් ෆර්නැන්ඩු ශික්ෂණ රෝහල, ෆෝකස් එන්ටර්ටේන්මන්ට්, නෙත් ක්‍රියේෂන්ස්, සියොන් හයිබ්‍රිඩ් ලංකා, කලාබර නිව්ස්, මියුසික්.lk, සිරිසර වෙබ්, නෙහීමියා කන්සල්ටන්ට්ස් මෙම කර්තව්‍යය සඳහා එක් වී සිටී. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ද මෙවර සැණකෙළියේ සංවිධාන කටයුතු සඳහා කයිට් ශ්‍රී ලංකා සමගින් එක්වී සිටී.

සැප්තැම්බර් 12 හා 13 දෙදින ගාලු මුවදොර පිටියේ දී ජාතික සරුංගල් සැණකෙළිය සමඟ එක්වීමට කයිට් ශ්‍රී ලංකා සංවිධානය ඔබට ආරාධනා කරයි.


නව අදහස දක්වන්න

Or log in with...