Spikes Asia 2015 උළෙල මෙරටින් නවදෙනෙක් | දිනමිණ

Spikes Asia 2015 උළෙල මෙරටින් නවදෙනෙක්

මහින්ද අලුත්ගෙදර

 සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිත 2015 Spikes Asia උළෙලේ Young Spikes Competitions and Academy වාර්ෂික තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තරුණ වෘත්තිකයන් හත් දෙනෙකු සහ තරුණ ශිෂ්‍යයන් දෙදෙනෙකු තෝරාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් කර්මාන්තයේ කැපීපෙනෙන දක්ෂතාවන් දැක්වූ තරුණ වෘත්තීකයන් හා තරුණ සිසුන් මෙලෙස තෝරාගෙන තිබෙන අතර එම තරඟාවලිය මේ මස 9 දා සිට 11 දා තෙක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

මෙහි දේශීය තරඟාවලිය දැන්වීම් කර්මාන්තයේ නියෝජිතයන්ගේ සහාය ඇතිව Metal Factor විසින් පවත්වන ලද අතර මෙහිදී Young Spikes Integrated, Media and Digital තරඟාවලියට සහභාගිවීම සඳහා කණ්ඩායම් තුනක් තෝරාගෙන ඇත. Raffles Design Institute ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මේ උළෙලේ පැවැත්වෙන Young Creative Academy වැඩසටහනට සහභාගි වීමට සුදුසුකම් ලබා තිබෙන අතර සරත් පෙරේරා මහතා එහිදී පැවැත්වෙන Spikes Asia Accounts Executive Academy ට සහභාගි වීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම කොළඹ දී පසුගිය දා සිදුකෙරිණි.

මේ වසරේ පැවැති දේශීය තරඟාවලිය සඳහා විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ආයතනවලින් තරුණ වෘත්තිකයන් 75 දෙනෙකු ඉදිරිපත්ව තිබෙන අතර එම කණ්ඩායම්වලට ඒ අය විසින් ප්‍රතිචාර දැක්විය යුතු මාතෘකාවන්/සංකල්පයන් ලබාදී තිබේ. මේ මාතෘකා පිළිබඳව ඔවුන්ගේ නිර්මාණ/ප්‍රතිචාර මේ ක්ෂේත්‍රයේ ප්‍රවීන වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ජූරි සභාවකට ඉදිරිපත් කොට ඇත.

Young Spikes Integrated තරඟාවලිය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහා සිදුකරන ලද ඒකාබද්ධ විශේෂ ව්‍යාපාරයක් ගොඩනැඟීම වෙනුවෙන් මෙම තරඟ මාතෘකාව ලබාදෙන ලද අතර අපේ රටේ යොවුන් පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම අධෛර්යමත් කිරීම එහි අරමුණ විය. මාධ්‍ය තරඟාවලියේ දී රටපුරා වාර්තාවන අලි මිනිස් ගැටුම අවම කරන අතර අලි ඇතුන් සංරක්ෂණය කිරීමට සාහය ලබාදෙන ශ්‍රී ලංකාවේ වනජීවී හා ස්වභාවධර්මය ආරක්ෂා කිරීමේ සංගමයට අරමුදල් රැස්කිරීම සඳහා මාධ්‍ය භාවිතා කරන ආකාරය යෝජනා කරන මෙන් මෙයට ඉදිරිපත් වූ කණ්ඩායම් වෙත අභියෝග කෙරිණි. Grant McCann ආයතනයේ සාහිල් ගුණසේකර සහ තාරා වීරසිංහ Young Spikes Integrated තරඟය ජයග්‍රහණය කළ අතර කුමාරිනී රාජකරුණා සහ අචලා රාමනායක මාධ්‍ය තරඟාවලිය ජයග්‍රහණය කළහ. ඊට අමතරව Young Spikes Integrated තරඟය ජයගත්තේ Lowe LDB හි සාගර් හිරාන් සහ ඕෂධී පරණවිතාන විසිනි.

Spikes Asia උත්සවයේ ශ්‍රී ලංකා නියෝජිත රනිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...