සාරධර්ම පිරිහීම නිසා අපරාධ වැඩිවුණා | දිනමිණ

සාරධර්ම පිරිහීම නිසා අපරාධ වැඩිවුණා

නිවන්ති තිලකරත්න
ඡායාරූප-සාලිය රූපසිංහ

පසුගිය සති කිහිපය තුළ සමාජයේ සිදු වු සිදුවිම් කිහිපයක් මුල් කරගෙන අපරාධ රැල්ල පිළිබඳ උණුසුම් කතාබහක් ඇති ඇති වී තිබේ. කාන්තා සහ ළමා හිංසන සම්බන්ධයෙන් පවතින නීති ප්‍රමාණවත් නොවන බවත්, මරණීය දණ්ඩනය වැනි දැඩි නීති නැවත ක්‍රියාත්මක විය යුතු බවටත් හඬක් නැගී තිබේ. සමාජයේ අපරාධ රැල්ල වැඩිවීම කෙරෙහි බල පා ඇති හේතු හා එවැනි අපරාධ වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමඟ කළ සාකච්ජාවකි මේ

* කොටදෙනියාව දැරියගේ ඝාතනයත් සමඟ අපරාධ ගැන නැවත කතා බහක් ඇති වී තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොම ද?

මෙයින් පෙන්නුම් කරන්නේ සමස්ත සමාජයේ ම බිඳ වැටීමයි. කොටදෙනියාව දැරියගේ ඝාතනය එක සිද්ධියක් විතරයි. මීට පෙරත් මෙවැනි අපරාධ සම්බන්ධයෙන් වාර්තා වුණා. ඒ ඒ සිද්ධි සිදු වූ අවස්ථාවේ දී ඒ ගැන කතා බහ කරනවා. ඒ කතා බහ ඒ කාලයට සීමා වෙනවා. අලුත් සිද්ධියක් සිදු වූ විට ඒ කතා බහ නැවත මතු වෙනවා. නමුත් මෙවන් අපරාධ සිදු වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු සොයන තත්ත්වයක් තවමත් ඇති වෙලා නෑ.

* මෙවැනි අපරාධ දිගින් දිගටම සිදු වීමට බලපා තිබෙන හේතු ලෙස ‍ඔබ හඳුනාගෙන තිබෙන්නේ මොනවා ද?

අද තිබෙන්නේ සාරධර්ම පරිහානියට පත් වුණු සමාජයක්. මහනායක හිමිවරුන්, උගතුන්, ජනමාධ්‍ය මේ ගැන පෙන්වා දී තිබෙනවා. ඒත් පරිහානියට පත් වුණු සමාජය නිවැරැදි කරන්න අවශ්‍ය කතිකාවතක් නෑ.

දීර්ඝ කාලයක් තිස්සේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටී තිබීමත් මේ තත්ත්වයට හේතු සාධක වී තිබෙනවා. පොලීසිය, අධිකරණ, බන්ධනාගාර ආදිය සම්බන්ධයෙන් ජනතාව තුළ බියක් නෑ. ඒ වගේ ම ඒ ආයතන සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිඳ වැටිලා. ඒ නිසාම ඕනෑම වරදක් කර නිදහස් වෙන්න පුළුවන් කියලා මිනිස්සු හිතනවා. ඒ තත්ත්වය තුළ තමයි මෙවැනි අශීලාචාර සමාජයක් නිර්මාණය වී තිබෙන්නේ.

* ඇතැමුන් පෙන්වා දෙන්නේ අද වන විට අපරාධ රැල්ලක් ඇති වී තිබෙන බවයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

අපරාධ රැල්ලක් ඇති වී තිබෙනවා යැයි කියන කාරණය පොලීසියත් ප්‍රතික්ෂේප කරනවා. අපරාධ රැල්ලක් නම් එකක් පසුපස එකක් ලෙස අපරාධ සිදු වෙන්න ඕන. ඒත් මෙතනදි අපරාධ රැල්ලක් ඇති වෙලාද නැද්ද කියන කාරණයට වඩා වැදගත් වෙන්නේ ‍අද සිදුවන අපරාධවල බිහිසුණුකම වැඩිවී තිබීම5යි. කාන්තාවක් දූෂණය කර මරා දමනවා කියන කාරණයට වඩා ළමයෙක් දූෂණය කර මරා දමනවා කියන එක බිහිසුණුයි. හරියාකාරව අතපයවත් නොවැඩුණු දරුවකු දූෂණය කර මරා දමන්න තරම් මානසිකත්වයක් නිර්මාණය වුණේ කොහොමද කියන කාරණය සොයා බැලීමයි වැදගත් වෙන්නේ.

* මෙවැනි අපරාධ නිවාරණය කිරීමට මරණීය දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව බොහෝ දෙනෙක් පවසනවා. නමුත් මරණීය දඬුවම ක්‍රියාත්මක කළ පමණින් අපරාධ නිවාරණය කරන්න පුළුවන්ද?

අපරාධ සිද්ධියක් වාර්තා වන විට ජනතාව ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා. එතනදි බොහෝ දෙනෙක් කියන්නේ මරණීය දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා. නමුත් මරණීය දඬුවම ක්‍රියාත්මක කළ පමණින් අපරාධ නිවාරණය වෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් අමෙරිකාවේ ප්‍රාන්ත දෙකක් යොදාගෙන කළ පර්යේෂණයක් තිබෙනවා. එක් ප්‍රාන්තයක මරණීය දඬුවම ක්‍රියාත්මක වෙනවා. අනෙක් ප්‍රාන්තයේ මරණීය දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නෑ. පර්යේෂණය අනුව අපරාධ අඩු ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ මරණීය දඬුවම ක්‍රියාත්මක නොවන ප්‍රාන්තයෙන්.

* කොටදෙනියාව දැරිය ඝාතනය මෙන්ම මීට පෙර සිදු වූ එවැනි අපරාධ වාර්තාකරණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හැසිරුණු ආකාරය ඔබ දකින්නේ කොහොම ද?

අද මාධ්‍ය තරගකාරියි. ඔවුන් පෙරදැරි කරගෙන තිබෙන්නේ වාණිජ පරමාර්ථ. එතනදි තමන් වාර්තා කරන දේ සමාජයට යහපත් ද අයහපත් ද කියන කාරණය වැදගත් නෑ. අද මාධ්‍ය නියැළී සිටින්නෙ තම ප්‍රේක්ෂකයන් ග්‍රාහකයන් වැඩි කර ගැනීමේ තරගයක. ඒ අනුව තමයි ඔවුන්ට වෙළෙඳ දැන්වීම් ලැබන්නේ. අද තිබෙන රියැටිලි වැඩසටහන්වල දරුවන් පවා වැඩිහිටියන් ලෙස හැසිරෙන්නේ මේ තත්ත්වය තුළයි.

* දැරියගේ මරණය විකුණාගෙන කෑවා යන චෝදනාව මාධ්‍යයට එල්ල වී තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස....?

අද සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ මේ සිද්ධි පිළිබඳ වැඩි කතාබහක් සිදු වෙනවා. මේ වෙබ් අඩවි වැඩි වශයෙන් භාවිත කරනනේ තරුණ පරම්පරාව. ඔවුන් දැඩි කම්පනයකින් මේ සිද්ධිය ගැන කතා කරලා තිබුණා. ඒත් මේ දැරියගේ නිරුවත් ඡායාරූප පවා පළ කර තිබෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ අපේ මානසිකත්වය හරිම ගෝත්‍රිකයි කියන දේ.

* මෙවැනි අපරාධමය සිද්ධියක් සිදු වූ පසු මාධ්‍ය කිසිදු මූලාශ්‍රයකින් තොරව පවුලේ පුද්ගලයන් ම සිද්ධියට සැක බව හුවා දක්වමින් පුවත් පළ කිරීම සිදු වෙනවා. මේ වාර්තාකරණය ගැන ඔබ පවසන්නේ කුමක් ද?

මාධ්‍ය තරගයක නිරතවී සිටින බව මා ‍මීට පෙරත් සඳහන් කළා. පුවත් ගෙන ඒමේ ප්‍රමුඛයා වීමට තමයි අද සෑම මාධ්‍යයක් ම කටයුතු කරන්නේ. ඒ වගේ news alert ඔස්සේ ප්‍රමුඛයා වීමටත් කටයුතු කරනවා. මේ තත්ත්වය තුළ කුමන හෝ දෙයක් පළ කිරීමට තමයි ඔවුන් උත්සාහ කරන්නේ. නීතියෙන් කටයුතු කිරීමටත් ප්‍රථම ජනමාධ්‍ය විසින් පුද්ගලයකු අපරාධකරුවකු කරන්නේ මේ තත්ත්වය තුළයි. සැබෑවටම ඒ පුද්ගලයා වරද කර නොතිබෙන්න පුළුවන්. ඒ වුණත් මාධ්‍යයෙන් පුද්ගලයකු අපරාධකරුවකු කිරීම ඒ පුද්ගලයාගේ ජීවිත කාලයටම බලපාන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ ම ඔහුගේ පවුල් ජීවිතයටත් එය බලපාන්න පුළුවන්. මාධ්‍යයෙන් එවැනි තත්ත්වයක් ඇති කිරීම නිසා ම පසුකාලීනව ඒ පුද්ගලයා සැබෑ අපරාධකරුවකු වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් එහි වගකීම ගත යුත්තේ මාධ්‍යයි.

* ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් වාණිජ පරමාර්ථ මුල් කරගෙන කටයුතු කළ ද මෙවැනි සංවේදී සිදුවීම් වාර්තා කිරීමේ දී මාධ්‍යවේදීන් සතුවත් වගකීමක් තිබෙනවා නේද?

අපේ රටේ ජනමාධ්‍යවේදීන් පුහුණු කරන ආයතන ‍නෑ. පුද්ගලයෙක් ජනමාධ්‍යවේදියෙක් ලෙස බඳවා ගැනීමේ දී ඒ සඳහා පුහුණුවක් පරිපූර්ණ කළ යුතු වෙන්නේ නෑ. යම් කෙනෙක් වැඩසටහනක් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරනවා නම් ඒ කෙනා මාධ්‍යවේදියෙක් වෙනවා. ඔවුන්ගේ පැවැත්ම තිබෙන්නේ ඔවුන් ඉදිරිපත් කරන වැඩසටහනට ලැබෙන ලාබය මත. එනිසා ඔවුන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වුවත් නැතත් තම ආයතනයේ අවශ්‍යතා ඉෂ්ට කිරීමට අවශ්‍ය පරිදි වාර්තාකරණය කරනවා. පැහැදිලිවම මේ රටේ ජනමාධ්‍ය උදෙසා ප්‍රතිපත්තියක් අවශ්‍යයි.

* ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය කියන මතෘකාව වසාදමා තිබෙන මාතෘකාවක් වීමත් මෙවැනි අපරාධ සිදුවීමත් අතර සම්බන්ධයක් තිබෙනවද?

අතීතයේ ඉඳන් ම ඒ මාතෘකාව වැහිලා තමයි තිබුණේ. එදා ලිංගිකත්වය ගැන අද තරම් එළිපිට කතා කළේ නෑ. එදා මෙවැනි බිහිසුණු අපරාධ සිදු වුණේ නෑ‍. ලිංගිකත්වය ප්‍රසිද්ධියේ කතා කළොත් මේ අපරාධ අඩුවෙනවා කියලා සමහරු කියනවා. ඒත් එහි සත්‍යතාවක් නෑ. ඒවා බටහිරින් එන අදහස්. අපට අපටම උරුම වූ සංස්කෘතිකයක් තිබෙනවා.

* ළමයින්ට සිදු වූ ලිංගික අපචාරවලට දී බොහොමයක් සිදු කර තිබෙන්නේ පවුලේම සාමාජිකයන් විසින්. මේ නිසා තම පියා, සීයා, ස්වාමිපුරුෂයා දෙස සැකෙයෙන් බලන තත්ත්වයක් වර්තමානයේ නිර්මාණය වී තිබෙනවා. මෙය පවුල් හා සමාජ සම්බන්ධතා කෙරෙහි බලපා තිබෙන්නේ කොහොම ද?

අද සමාජයේ පුද්ගල සම්බන්ධතා බිඳවැටිලා තිබෙන්නේ. බිරිය හා දරුවන් අතර පවා ලොකු ළෙන්ගතු බවක් සංවේදීබවක් නෑ. දරුවන් හා මවුපියන් අතර තිබෙන්නෙත් දුරස්ත සම්බන්ධයක්. දරුවනුත් අධ්‍යාපන කටයුතු නිසා කාර්ය බහුලයි. පවුලේ දියුණුව කියලා කියන්නේ මුදල් කියලා මවුපියන් හිතනවා. මෙසේ දරුවන් මවුපියන් අතර පවතින දුරස්තභාවය ළෙන්ගතු බව අඩුවීම තුළ පවුල් සංස්ථාව තුළින් ම දරුවන් මෙවැනි අපචාරවලට ලක්වීම සිදුවෙමින් තිබෙනවා.

* කොටදෙනියාව දැරියගේ ඝාතනයෙන් පසුවත් ඊට පෙර අවස්ථාවලත් ජනතාව පවසා සිටියේ නීතියෙන් අපරාධකරුවන්ට දඬුවම් කරන්න බැරි නම් ඒ අවස්ථාව ඔවුන්ට ලබා දෙන ලෙසයි. ජනතාව මෙවැනි තත්ත්වයකට පත්වීම ඉඟි කරන්නේ ‍කුමක්ද?

පැහැදිලිවම මෙයින් පෙන්වන්නේ නීතියේ බිඳ වැටීම. රටක තිබෙන විධිමත් නීතියෙන් තමයි සමාජ ශික්ෂණයක් ඇති වෙන්නේ. ඒ තත්ත්වය බිඳවැටීම තුළ එතැනට ආදේශ වෙන්නේ කැලෑ නීතිය. ඒ කියන්නේ දතට දත, ඇහැට ඇහැ කියන නීතිය. දඬුවම් දීමේ අවස්ථාව තමන්ට දෙන්න යැයි ජනතාව ඉල්ලන්නේ ඒ නිසයි. මෙය ඉතා බරපතළ ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.

* කාන්තා කටයුතු ඇමතිනි පවසා තිබුණේ මේ අපරාධවලට අදාළව පවතින නීතිය යල් පැන ගොස් තිබෙන බවත් එය යාවත් කාලීන කළ යුතු බවත්. එහෙත් ළමා ආරක්ෂණ අධිකාරිය පවසන්නේ පවතින නීතිය ප්‍රමාණවත් බවයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මෙතන ප්‍රශ්නය තියෙන්නේ නීතියේ නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ප්‍රමාදයයි. සිද්ධියක් සිදු වූ පසු පොලිසිය ඒ ස්ථානයට එන්නත් සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ වගේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් කාලයක් ගත වෙනවා. මේ ප්‍රමාදවීම් තුළ ජනතාවට ඒ ආයතන ගැන තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඒ වගේ ම මේ අපරාධවලට අදාළ පර්යේෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් කුසලතා අපේ රටේ නිලධාරීන්ට තිබෙනවද කියන ගැටලුවත් තිබෙනවා. මේ හේතු නිසා නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතා රැසක් තිබෙනවා. ඒ නිසා වැඩි අවධානයක් යොමු විය යුත්තේ විධිමත්ව නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙයි.

* අපරාධ නිවාරණයට අදාළව ජනතාවගේ භූමිකාව කුමක් විය යුතු ද?

ජනතාව වගකීම් ඉෂ්ට කරන තත්ත්වයට පත් කරන්න ඕන. එදා සදාචාරයෙන් සිරිත්වලින් ඒ දේ සිදු වුණා. ඒත් අද ජනතාව සිරිත්වලින් ඈත් වෙමින් යනවා. එහෙම නම් ඒ සිරිත් , නීති බවට පත් වෙන්න ඕන. ප්‍රබල නීති පැනවීමක් තුළ ජනතාව ශික්ෂණයට පත් වෙනවා. මැලේසියාව, සිංගප්පූරුව ගැන සොයා බැලුවත් යුරෝපීය රටවල් සොයා බැලුවත් ඒ රටවල් ශික්ෂණයට පත්වෙලා තිබෙන්නේ ප්‍රබල නීති ඔස්සේ.

* ශික්ෂණය ඇති කිරීමට ජනතා ආකල්ප වෙනස් කිරීම වැදගත් වෙන්නේ නැද්ද?

ප්‍රබල නීති තුළින් ආකල්ප වෙනස් කරන්න ‍පුළුවන්. නීති පිළිපැදීමට සිදු වීම නිසා ජනතාවගේ ආකල්ප වෙනස් වීම සිදු වෙනවා. ඒ නිසා නීති ප්‍රබල කිරීමක් තුළින් ශික්ෂණයක් ඇති කරන්න පුළුවන්.

* අපරාධවලට හේතු සොයා බලා විශ්ලේෂණාත්මකව ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමේ තත්ත්වයක් ශ්‍රී ලංකාවේ තිබෙනව ද?

අපේ රටේ එවැනි තත්ත්වයක් ‍නැතිකම තමයි ප්‍රධානම ගැටලුව. ජනමාධ්‍යයේ පවා මේ සිද්ධි විශ්ලේෂණාත්මකව වාර්තා කිරීමක් දකින්න ලැබෙන්නේ නෑ. ඔවුන් එසේ විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරනවා නම් ප්‍රතිපත්ති සම්පාදකයන්ටත් ඒවා පාදක කරගෙන තීරණ ගන්න පුළුවන්.

* අපරාධ නිවාරණය සඳහා ඔබ ඉදිරිපත් කරන වෙනත් යෝජනා මොනවද?

අපරාධ සිද්ධියක් සිදු වූ අවස්ථාවේ එය විශාල සංසිද්ධියක් බවට පත් වෙනවා. පසුව එය අමතක වෙනවා. අලුත් සිද්ධියක් වුණාම නැවත මතක් වෙනවා. නමුත් මේ ගැටලුවලට විසඳුම් සෙවීමට ප්‍රතිපත්ති සකස් වෙන්න ඕන. මේ පිළිබඳ කතාබහ කරන උගත් ප්‍රබුද්ධ පිරිස් මෙන් ම සමාජය නිවැරදි කළ යුතු යැයි උනන්දුවෙන් කතා කරන පිරිස්වල සහභාගිත්වය ලබා ගෙන ප්‍රතිපත්ති සකස් කිරීමට ව්‍යවස්ථාදායකයට දැක්මක් තිබිය යුතුයි. එය රටක ආණ්ඩුවක වගකීමක්.

 

නව අදහස දක්වන්න