ඔටාරා නවතම Embark විලාසිතා එකතුවක් එළිදක්වයි | දිනමිණ

ඔටාරා නවතම Embark විලාසිතා එකතුවක් එළිදක්වයි

ඔටාරා ගුණවර්ධන යනු නව ප්‍රවණතාවයන් මවනා ශ්‍රී ලාංකීය ව්‍යවසායිකාවක, ප්‍රබෝධමත් ව්‍යාපාරිකාවක, මානව හිතවාදිනියක සහ වෙනස්කම් ඇති කරන්නියක ලෙසින් ජනාදරයට පත්ව ඇති චරිතයකි. ඇය තුළ පවතින සුවිශේෂීත්වය නම් ඇය සතුන් කෙරෙහි දක්වන අසීමිත කරුණාව සහ දයාව මෙන්ම සත්ත්ව සුබසාධනය ඉහළ නැංවීමට දරනා නිරන්තර උත්සාහයය. සත්ත්ව සුබසාධනය වෙනුවෙන් සංවිධානය වූ බොහෝ ව්‍යාපෘතීන් පසුපස ඇති ශක්තිය වූයේ ඇයයි. නැවත වතාවක් තමන් වඩාත් ආදරය කරනා අංගයන් දෙක වන සතුන් සහ විලාසිතාවන් ඇය විසින් එකට එක් කරනු ලැබූවේ සිය හදවතට ඉතා සමීප සිහිනයක් යථාර්ථයක් බවට පත්කර ගැනීම වෙනුවෙනි. ව්‍යාපාරික දැවැන්තයකු වන ඔටාරා යළි සිය ගමන ඇරඹීම ඇය සතු සහජ හැකියාව හඳුනන ව්‍යාපාර ලොව ඉතසිතින්ම වැලඳ ගනු නොඅනුමානය.

යහපත් අරමුණකින් යුත් වෙළෙඳ නාමයක් වන Embark නිර්මාණය වන්නේ ඔටාරා සතුව සතුන් කෙරෙහි ඇති අසීමිත ආදරය සහ විලාසිතාවන් කෙරෙහි ඇති උනන්දුව මුල්කරගෙනය. මෙම නාමයත් සමඟ ඇය මේ වනවිට සුබවාදී සමාජ වෙනසක් සිදුකරමින් සිටින්නේ සතුන් සමඟ සහජීවනයෙන් ජීවත්වීම අපට හුරුකරවමින් සහ සතුන්ට කරුණාවන්ත වීමට දහස් ගණනක් දෙනා පොලඹවමිනි.

සිය අරමුණ ඉටුකර ගනිමින් ව්‍යාපාර ක්ෂේත්‍රයන් යළි ආක්‍රමණය කරමින් පසුගිය 02 වැනි නව අරමුණක විලාසිතාගාරය විවෘත කෙරිණි. ඓතිහාසික ගාලු කොටුවේදී මෙම Embark ප්‍රදර්ශනාගාරය ස්ථාපිත කිරීමත් සමඟ එය ස්වාධීන නාමයක් ලෙසින් ඉදිරියට ගෙන යාමේ දීර්ඝකාලීන සිහිනය ඉටුවිය. “සියලු දෙනා උදෙසා ආදරයේ සහ දයාවේ සංස්කෘතියක් ගොඩනඟමු’ යන Embark හි තේමා පාඨය ඉස්මතු වන ලෙසින් නිර්මාණය වී ඇති ප්‍රදර්ශනාගාරයේ සුවිශේෂී අභ්‍යන්තර පෙනුම සහ එහි අලංකාර නිෂ්පාදිතයන් පාරිභෝගිකයින්ට අපූරු සාප්පු සවාරි අත්දැකීමක් හිමිකර දීමට සමත් වනු ඇත.

සුප්‍රසිද්ධ Embark ලාංඡනයෙන් සහ විවිධ පාඨයන්ගනේ යුත් විචිත්‍රවත් සහ නවීන විලාසිතාවෙන් යුත් ඇඳුම් පැළඳුම් සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන ලෙසින් නිර්මාණය වී ඇත. මේ හරහා යහපත් අරමුණකට දායකවෙමින් විලාසිතාවන්හි යෙදීමට Embark රසිකයින්ට හැකි වේ. මෙහිදී කාන්තා, පිරිමි, ළමා, ගෘහස්ථ සහ සුරතල් සතුන්ට සරිලන විවිධ ආකාරයේ නිෂ්පාදිතයන් Embark හි සුවිශේෂීත්වයෙන් ඔප්නැංවීම ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම නව එකතුව ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ උදව් අවශ්‍ය සුනඛයින් සහ ඔවුන් රැකබලා ගන්නා ප්‍රජාවට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමයි. අපි සත්ව සුබසාධනය වෙනුවෙන් කරනා බොහෝ ව්‍යාපෘතීන්ට මූල්‍ය ආධාරය සැපයෙන්නේ මෙම නාමය අලෙවිය තුළින් ලැබෙනා ප්‍රතිලාභයන්ගෙන්. ඔබ Embark නිෂ්පාදිතයක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම අසරණ වීදි බලු පැටවෙක්ට උදව් කිරීමට ඔබට අවස්ථාව සැලසෙනවා” යනුවෙන් ඔටාරා ගුණවර්ධන පැවැසුවාය.

ඔටාරා ගුණවර්ධනයන්ගේ මඟපෙන්වීමෙන් Embark වෙළෙඳ නාමය මේ වනවිට කාරුණික මිනිසුන්ගේ වෙළෙඳ නාමයක් බවට පත්වී ඇත්තේ හදවතින්ම මතුවෙන දැක්මක් ලෙසින් සියලුදෙනා ආකර්ෂණය කරගනිමිනි. ඇය Odel වෙළෙඳ ප්‍රදර්ශනාගාරය විකිණීමට තීරණය කළේද අසරණ සතුන්ට පිහිටවීමට සහ පරිසරය සුරැකීමට දායකවීමට වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැය කිරීමේ අපේක්ෂාවෙනි. ඒ හරහා මිනිසුන් සහ සතුන් සහජීවනයෙන් යුතුව ජීවත්වන පරිසරයක් නිර්මාණය කිරීම ඇගේ අරමුණ විය. නව ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයන්ගේ සිත් දිනාගන්නා තැනක් බවට පත්වන ලකුණු දැනටම පහළ කර ඇති බව පවසන ඔටාරා එය වසර අවසානය වනවිට දෙගුණ තෙගුණ වෙතැයි අපේක්ෂා කරන්නීය.

විලාසිතා ප්‍රියකරන්නන්, සත්ත්ව හිතකාමීන් සහ Embark හි දිගුකාලීන අනුග්‍රාහකයින් ඇතුළු කාරුණික හදවත් ඇති බොහෝ දෙනෙක් ගාලු කොටුවේදී පැවති නව Embark ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි විය. එහිදී ඔවුන් වෙනසක් ඇතිකිරීමේ Embark හි වෑයම සැමරීමේ සතුට බෙදාගන්නා ලදී.

ගාලු ‍ෙකාටුවේදී විවෘත කරන ලද Embark විලාසිතාගාරය මෙම නාමය යටතේ විවෘත කළ පළමු ස්වාධීන විලාසිතාගාරයයි. මෙම විලාසිතාගාරය තුළ Coffee with Niko ලෙසින් අලංකාරවත් කැ‍ෆේ එකක්ද පවතින අතර සිය සාප්පු සවාරි අත්දැකීමෙන් පසු විවේක සුවයෙන් ගත කිරීමට මෙය කදිම ස්ථානයකි. මෙහි තේමාව වන්නේ සුරතල් බලු පැටවුන් වේ. එහිදී දැකගත හැකි නිකෝ, බැන්ඩිට් සහ රෝසි වැනි ඔටාරා ගුණවර්ධන විසින් රැකබලා ගන්නා බලු සුරතලුන් සහ විනෝදාත්මක පාඨ ආදිය ඕනෑම අයෙක් විනෝදයට පත්කිරීමට සමත් වනු ඇත. Embark නිෂ්පාදිතයන් ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ, ජාඇල K-Zone හි සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති Odel ප්‍රදර්ශනාගාර තුළින්ද මිලදී ගත හැකිය.

ගාලු කොටුවේ සැරිසරන වර්ණවත් Embark ත්‍රීරෝද රථ ඔබව ප්‍රදීපාගාර මාවතේ අංක 33 දරන ස්ථානයේ ඇති විලාසිතාගාරයට ගෙන යනු ඇත. එය දිනපතා උදෑසන 9 සිට රාත්‍රී 9 වනතුරු විවෘතව පවතී. විලාසිතාවන් සහ තවත් බොහෝ දෑ දැකබලා ගැනීමට කදිම ස්ථානයක් වන මෙහිදී ඔබටත් ලොව වඩාත් හොඳ තැනක් බවට පත්කිරීමට දායකවීමට හැකිවනු ඇත.

 

ඡායාරූප- රංජිත් අසංක


නව අදහස දක්වන්න

Or log in with...