ඔබයි ඔබේ රැකියාවයි | දිනමිණ

ඔබයි ඔබේ රැකියාවයි

ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ විවිධ අංශ සම්බන්ධව සාක්ච්ජා කෙරෙන විශේෂ ලිපි පෙළක් අද සිට සෑම සඳුදා දිනකම කප්රුක පිටුවේ පළවේ. වෘත්තීය පුහුණු කිරීමේ ජාතික අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය/කළමනාකරණ උපදේශක නිශාන් බමුණුආරච්චි මහතා විසින් සම්පාදනය කරන මේ ලිපි මාලාවේ පළමු වැන්න මෙයයි.

“රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්” යැයි අපේ පැරැණි කියමනක් ඇත. එය එදාටත් වඩා අදටත්, හෙටටත් මනාව ගැළපෙන කියමනකි. ඔබ දැනටමත් කවර හෝ රැකියාවක නිරතවී සිටින්නට පුළුවනි. නැතහොත් එවැන්නක් අපේක්ෂාවෙන් සිටින්නට පුළුවනි. එය පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ හෝ තමාගේම ව්‍යාපාරයක් විය හැකිය. මේ ක්ෂේත්‍රවලින් කවර හෝ ඔබ නිරත වී සිටියද ඔබගේ තරාතිරම කුමක් වුවද අවසානයේ දී පොදු අරමුණු දෙකක් ඉටු කරගැනීම උදෙසා අප සැවොම ක්‍රියාකාරී වී ඇත.

එනම් අප සේවය කරන ආයතනයට මොනතරම් සේවාවක් අප කළ යුතුද සහ එම සේවාව වෙනුවෙන් අප හට කොතරම් ප්‍රතිලාභ ලැබෙනවාද යන්නයි. මේ අපේක්ෂිත ප්‍රතිඵල එක්එක් පුද්ගලයාගේ රුචිකත්වය අනුව වෙනස් වන අතර, මුදල් සමාජ තත්ත්වය, සේවය කිරීමෙන් ලබන තෘප්තිය, දැනුම හා කුසලතා වර්ධනය කරගැනීම ආදී කරුණු බොහෝ අයගේ ලැයිස්තුවේ මුල් තැන ගෙන ඇත.

අප සැමගේ ඉහත කී අරමුණු සාර්ථකව ඉටුකර ගත හැක්කේ එකී සේවාව සඳහා කරන කැපවීමේ (Commitment) ප්‍රමාණය මතය. තමා ජීවත්වන කෙටි කාලයේදී පෞද්ගලිකව තමාටත් පොදුවේ සමාජයටත් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන ලෙස තම දැනුම සහ ඥානය භාවිත කිරීමට සෑම මිනිසකුම තම උපරිම උත්සාහය අවංකවම යෙදිය යුතුය. තවත් අයුරකින් කිවහොත් තමා මෙලොවට බිහිවන විට තිබූ සමාජයට වඩා අඟලක් හෝ උසස් තලයකට එය ඔසවා තැබීම අප ජීවත්වන කාලයේදී අපෙන් වය යුතු සමාජීය වගකීමයි. ඉතා සරුව කිවහොත් අප සැවොම හරිදේ තෝරාගැනීම (‍Effectiveness) සහ එය හරියට කිරීම (Efficiency) යන කරුණු දෙක නිවැරැදිව කළහොත් ආයතනයත් තමාත් පොදුවේ මුළුමහත් සමාජයත් නිතැතින්ම දියුණුවෙන් දියුණුවට පත්වනු ඇත. එමඟින් අප හැමගේත්, මතු පරම්පරාවේත් හෙට දවස අදට වඩා ලස්සන කරවීමට අපට හැකිවනු ඇත. එය සාර්ථක කර ගැනීම සඳහා මෙලොවට බිහි වන සෑම පුද්ගලයකුගේම අතිමහත් වූ දැවැන්ත ශක්තියක් ස්වභාවයෙන්ම ගැබ්වී ඇත. කළ යුත්තේ ඒ ගැන තනි තනිවම විශ්වාසයක් තබා එය හඳුනාගෙන වැඩි දියුණු කර ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමෙන් අවශ්‍ය ප්‍රතිඵල උදාකරගැනීමයි.

“රැකියාවයි ඔබයි” යන සරල මාතෘකාව යටතේ අප ගැඹුරින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් ඔබ නියැළී සිටින ක්ෂේත්‍රය කුමක් වුවද මේ අවසාන පොදු අරමුණු කරා ළඟාවීම සඳහා සේවකයාත් සේවාදායකයාත් පාලිතයාත් පාලකයොත් යන දෙපාර්ශ්වයම පොදුවේ ලබාගත යුතු න්‍යායාත්මක (Theoretical) හා ප්‍රායෝගික (practical) දැනුම් සම්භාරයක් අත්පත් කර ගත යුතු විශේෂ ගුණාංගත් මොනවාද යන්නයි. එහි දී ඉතා නිවැරැදිව අවබෝධ කර ගත යුතු අතිශයින්ම වැදගත් වූ කාරණා කිහියක් අපි මුලින්ම සාකච්ඡා කරමු.

 

නිවැරැදි ආකල්ප (Right Attitudes) ඇති කරගැනීම

 

තමන්ට පැවරී ඇති රාජකාරිය කුමක් වුවද ඉන් උපරිම සාර්ථක්තවය කරා එළැඹීමට නම් තමාට එකී කටයුත්ත පිළිබඳ නිවරැදි වූ ආකල්පයක් ඇතිකරගැනීම පළමුව තිබිය යුතු අත්‍යාවශ්‍ය සාධකයකි. නිදසුනක් ලෙස තමා ලබන වැටුපට වඩා වැඩි සේවාවක් නිතරම කළ යුතුම යැයි යන ආකල්පයක් තමාගේ මනසේ මුල් බැසගෙන තිබිය යුතුය. ඕනෑම ආයතනයක මෙන්ම ඕනෑම පුද්ගලයෙකුගේ ද සංවර්ධනයට සෘජුවම බලපාන්නේ මේ ආකල්පයයි. ආකල්ප යන වචනයට ගැඹුරු විද්‍යාත්මක නිර්වචනයක් තිබුණ ද ඉතා සරලව කිවහොත් එයින් අදහස්වනුයේ යම්කිසි දෙයක් ගැන අපි එල්බ සිටින මානසික ස්ථාවරය සහ ඒ පිළිබඳව අප හට දැනෙන හැඟීමයි. අපගේ යහපත් අරමුණු ඵලදායී ලෙස ඉටු කරගැනීම සඳහා ධනාත්මක ආකල්පයක් (positive Attitude) ප්‍රථමයෙන් තමා ගොඩනඟාගත යුතුයි. නිවැරැදි ආකල්පයක් ගොඩනඟා ගැනීමත් සමඟම තමාගේ අවසාන අරමුණු සියයට පනහක් ඉටුවී හමාරය. ඉන්පසු කළ යුත්තේ එම ගොඩනඟාගත් ආකල්පය තව දුරටත් වර්ධනය කරගැනීමයි. අවාසනාවකට මෙන් අද සමාජයේ බහුතරයක් මුල් බැසගත් වැරැදි ආකල්පවලින් තම මනස පුරවාගෙන ඇති නිසා ඔවුනට වඩාත් නිවැරැදි මාර්ග පෙනෙන්නේ නැත. මේ මුල් බැසගත් ආකල්ප වෙනස් කරගැනීම ඉතා අමාරු කාර්යයක් වන අතර ඒ සඳහා දැඩි ප්‍රයත්නයක් තමාගේ මනසේ ඇති කර ගත යුතුය. මෙහි අවාසනාවන්ත පැත්තනම් සමහර පුද්ගලයන් තම ජීවිතයේ විසඳුමක් නැති ගැටලු රාශියකට මුහුණ පා සිටින්නේ තමා තුළ ඇති මුල් බැසගත් වැරැදි ආකල්පවලින් මිදී නිවැරැදි දේ සිතීමට තරයේ ප්‍රතික්ෂේප කිරීම නිසාය. ඒ බව අන් අය විසින් කොතෙකුත් වටහාදුන්නද එය පිළිගැනීමට තරම් ආත්ම ශක්තියක් මේ පුද්ගලයෝ ළඟ නැතිවීම නිසා ඉන් ඔබ්බට ඔවුන්ගේ දියුණුවක් සිදුවන්නේ නැත.

තවත් සමහරෙක් තමාට ජීවිතයේ මුහුණපෑමට සිදු වූ ප්‍රශ්නයක් නිසාම ‍එමඟින් තමා වෙත එල්ලවන අභි‍යෝගවලට සාර්ථකව මුහුණ දී හිටියටත් වඩා හොඳට තම ජීවිතය සාර්ථක කර ගන්නේ නිවැරැදි ආකල්ප මත පිහිටා සියලු ක්‍රියා කරගෙන යෑම නිසා ය. බොහෝමයක් පෞද්ගලික ආයතන සේවකයන් බඳවාගැනීමේදී මුල්තැන දෙන්නේ ඔවුන් සතුව ඇති විෂය දැනුම පරීක්ෂා කිරීමටත් වඩා ඔවුන් තම ආයතනයට සරිලන ආකාරයේ ආකල්පවලින් යුක්ත වූ අය ද යන්න දැන ගැනීමටයි.

විෂය දැනුම (subject knowledge) ලබා ගැනීම

 

තමා නියැළී සිටින ක්ෂේත්‍රය කුමක් වුවද, කුමන තරාතිරමක නිරත වී සිටිය ද එකී විෂයයට අදාළ විෂය කරුණු ඉතා නිවැරැදිව ඉගෙනගෙන තමාට ප්‍රත්‍යක්ෂ කරගැනීම අත්‍යාවශ්‍ය වේ. එකී විෂයේ න්‍යායාත්මක කොටස වනුයේ මෙයයි. තවද දිනෙන් දිනම අලුත් දැනුම එකතු කර ගැනීම හැකි සෑම ආකාරයකින්ම කළ යුතුය. විවිධ පාඨමාලා විශ්වවිද්‍යාල සහ පොත පත මාර්ගයෙන් මේ දැනුම විධිමත් ආකාරයට ලබාගැනීමට පුළුවනි. ඉදිරි ලිපිවලදී අපි ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන ප්‍රධාන මාතෘකාවලින් කිහිපයක් පහත දක්වමු.

මානව සම්පත් කළමනාකරණය- Human Resource Management

සාමාන්‍ය කළමනාකරණය - General Management

අලෙවිකරණය - Marketing

විකුණුම් කළමනාකරණය - Sales Management

ව්‍යාපාර මූල්‍ය කළමනාකරණය - Business Statistic

ව්‍යාපාර සංඛ්‍යානය - Information Technology

තොරතුරු තාක්ෂණය - Training & Development

පුහුණුව හා සංවර්ධනය - Skills Development

කුසලතා වර්ධනය කරගැනීම -

කෙතරම් ගැඹුරින් විෂය දැනුම ලබාගත්තද තමා ලබාගත් දැනුම ප්‍රායෝගිකව යොදවා එයින් අපේක්ෂිත ප්‍රතිඵල උදාකරගැනීමට හැකියාවක් නැතිනම් එම පුද්ගලයා එකී ක්ෂේත්‍රයේ සමාර්ථයකු යැයි පිළිගන්නේ නැත. ඕනෑම ක්ෂේත්‍රයක කිසියම් පුද්ගලයකු සමාර්ථයකු වන්නේ එකී පුද්ගලයා තුළ නිවැරැදි ආකල්පයක් අංග සම්පූර්ණ විෂය දැනුමක් සමඟ කුසලතාවක් ද ඇත්නම් පමණි.

නිශාන් බමු­ණු­ආ­රච්චි
අධ්‍යක්ෂ / වෘත්තීය  පුහුණු  කිරීමේ ජාතික අධ්‍යා­පන  පීඨය
ජ්‍යෙෂ්ඨ  කථි­කා­චාර්ය, 
කළ­ම­නා­ක­රණ උප­දේ­ශක

නව අදහස දක්වන්න

Or log in with...