ඔබ විසින් ඔබවම හඳුනාගන්න | දිනමිණ

ඔබ විසින් ඔබවම හඳුනාගන්න

ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ විවිධ අංශ සම්බන්ධව සාක්ච්ජා කෙරෙන විශේෂ ලිපි පෙළක් සෑම සඳුදා දිනකම කප්රුක පිටුවේ පළවේ. වෘත්තීය පුහුණු කිරීමේ ජාතික අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය/කළමනාකරණ උපදේශක නිශාන්

බමුණුආරච්චි මහතා විසින් සම්පාදනය කරන මේ ලිපි මාලාවේ තෙවැන්න මෙයයි.

පෙර සතියේ දී අපගේ ලිපියෙන් අප අවධානය යොමු කරනු ලැබුවේ SWOT විශ්ලේෂණයක් ඔබ සඳහා සිදු කරන්නේ කෙසේද යනුවෙනි. මෙම සතියේ ලිපියෙන් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සාකච්ඡා කරගමු. පෙර සතියේ අප පළ කර SWOT විශ්ලේෂණයේ රූපසටහන මතකයට ගන්න.

පළවැනි පියවර (STEP 1)

ඉහත ආකාරයේ කොටු හතරකින් යුත් වගුවක් සම්පූර්ණ පිටුවක ඇඳ SWOT යන්න පෙන්වා ඇති ආකාරයටම එම කොටුවල ඉහළින්ම ලිවිය යුතුය.

දෙවැනි පියවර (STEP 2)

පළමුව STRENGTHS කොටුව පිරවීමට පුළුවන. මෙහිදී ඉතා පැහැදිලිව අවබෝධ කරගත යුතු කාරණය නම් ශක්තීන් යනු තමා තුළ තමා සන්තකයේ පවතින්නා වූ ශක්තීන් බවය. ඒවා බලවත්කමේ අනුපිළිවෙළට 1, 2, 3 ආදී වශයෙන් එම කොටුවල ඉහළ සිට පහළට එක යට එක ලිවිය යුතුය.

තමා සතු විශේෂ හැකියාවන් එනම් විවිධ භාෂා කතා කිරීමට / ලිවීමට ඇති හැකියාව අනෙකුත් සුවිශේෂ නිපුණතා යනාදිය ද මෙයට ඇතුළත්ය. තමා සතුව ඇති වත්කම් (මිල මුදල් යාන වාහන ගොඩනැගිලි ආදිය) තමා දන්නා කියන සමාජයේ යමක් කමක් කිරීමට හැකි පුද්ගලයන් සමඟ තිබෙන සම්බන්ධතා (High Level Contacts) ආදියද තමාසතුව ඇති ශක්තීන්ය.

ඊළඟට වගුවේ දෙවැනි කොටුව වන දුර්වලතා කොටුව පිරවීටම උත්සහ කළ යුතුය. මෙහිදීද ඉතා හොඳින් තේරුම් ගත යුතුව ඇත්තේ තමාටම ආවේණික වූ දුර්වලතා විය යුතු බවයි. මෙම කොටුව පිරවීමේදී මා අත්දැකීමෙන් දන්නා දෙයක් නම් කෙනෙකු හෝ යම්කිසි ආයතනයක් තමා සතුව අති සියලු දුර්වලතා හඳුනාගත්තද ඒවා කොලයක ලිවීමට තරම් ආත්ම ශක්තියක් තමා තුළ නොමැතිවීමය. එයද තවත් එක් දුර්වලතාවකි. එනිසා විශේෂයෙන්ම මෙම කෙටුව පිරවීමේදී තමා තමාට අවංක විය යුතුය යන මූලධර්මය අකුරටම පිළිපැදිය යුතුය.

මෙම විශ්ලේෂණයේ අවසාන අරමුණ වන්නේ තමාගේ හෝ තම ආයතනයේ දුර්වලකම් ඇත්ත ඇති සැටියෙන් හඳුනාගෙන ඒවාට හැකිතාක් ඉක්මනින් නිසි පිළියම් යොදා එම දුර්වලතා සියල්ල තමා තුළින් තම ආයතනයෙන් ඉවත් කරගැනීමයි. එවිට පොදුවේ මුළු මහත් සමාජයෙන්ම ඒවා ඉවත් වී යයි. දැන් මෙම හඳුනාගත් දුර්වලතා සියල්ල වැදගත්කමේ අනුපිළිවෙලට පෙර සේම ලිවිය යුතුය.

උදාහරණ කිහිපයක් ගෙන බලමු. කෙනෙකුට තමාට හැඟෙන දෙය එසේත් නැත්නම්ප්‍රකාශ කිරීමට අවශ්‍ය දෙය නිවැරදිව අඩුම වචන ගණනක් භාවිතා කොට කීමටනොහැකි නම් ඔහු හෝ ඇය සන්නිවේදනය හරිහැටි යොදා ගැනීමට නොහැකි වූ දුර්වලතාවයෙන් පෙළේ. තවද කෙනෙකු කිසියම් පාඨමාලාවක් හෝ උපාධියක් සම්පූර්ණ කර සහතික පතක් ලබාගත් පමණින් ඔහු හෝ ඇය එම වෘත්තියට අදාළ ප්‍රායෝගික පළපුරුද්දක් ලබාගෙන නොමැති නම් එයද ප්‍රධාන දුර්වලතාවලින් එකකි.

විශේෂයෙන්ම ඔබගේ අවධානය යොමු කළ යුතු කරුණක් නම් ඇතැමෙක් තමා සතු දුර්වලකමක් ගැන මහත් ආඩම්බරයෙන් කතා කරන්නේ එය තමාසතු සුවිශේෂී හැකියාවක් බව සමාජයට තහවුරු කිරීමය.

එවැනි අයකු මේවිශ්ලේෂණය කිරීමේදී තමාගේ ඊනියා ශක්තීන්වලට අන්ධ නොවිය යුතුය. බොරුකීම, බොරු කිරීම, මිනිසුන්, පාරිභෝගිකයන් රැවටීම, ‍අමාරුවේ දැමීම ආදී තමාගේ සුවිශේෂී හැකියාව නොව හැකි ඉක්මනින් තමා තුළින් ඉවත් කරගත යුතු දුර්වලතාය. මෙවැනි දුර්වලතා ව්‍යාපාරයක හෝ කිසියම් වෘත්තියක ආචාර විද්‍යාව (PROFESSIONAL ETHICS) හෝ ආචාර ධර්මවලට සම්පුර්ණයෙන්ම පටහැනි ක්‍රියාවන්ය.

තුන්වැනි පියවර (STEP 3)

ඔබ හඳුනාගත් තම ශක්තීන් සමූහය සහ දුර්වලතා සියල්ල කෙතෙක් දුරට සාධාරණද නිවැරැදිද නැතහොත් තව අඩුපාඩු තිබේද යන්න සහතික කරගැනීම සඳහා ඔබගේ කල්‍යාණ මිත්‍රයකුට හෝ පවුලේ කාරණා කටයුතු දන්නා සාමාජිකයෙකුගේද උදව් ලබාගැනීම කළ යුතුය. ඒ සඳහා ඔබ පිළියෙළ කරගත් ලැයිස්තුව ඔවුන්ට නොපෙන්වා ඔවුන් හට වෙනම ඔබ ගැන එකී ලැයිස්තුවක් පිළියෙල කරන්න යැයි කියා සිටින්න. ඉන් පසු එකී සියලු කරුණු ද සැලකිල්ලට ගෙන අවසන් ලැයිස්තුවට පිළියෙල කරගන්න.

හතර වැනි පියවර (STEP 4)

දැන් එහි ඇති 'අවස්ථා' (OPPORTUNITIES) යන කොටුව පිරවීමට උත්සාහ ගනිමු. මෙහිදී ඉතා පැහැදිලිව සහ නිවැරදිව අවබෝධ කරගත යුතු දෙයක් නම් 'අවස්ථා' යනු තමා සතුව තමා තුළ ඇති ශක්තීන් නොවන බවත්, ඒවා තමාගෙන් හෝ තම ආයතනයෙන් පරිබාහිරව (EXTERNALLY) පවතින්නා වූ ද තමා හට හෝ තමාගේ ව්‍යාපාරයේ දියුණුව උදෙසා ප්‍රයෝජනයට ගත හැකි අවස්ථා බවත්ය. තමා තුළ හෝ තමා සන්තකයේ පවත්නා හැකියා හා ශක්තීන් සමඟ අවට ලෝකයේ පවතින්නා වූ අවස්ථා පටලවා නොගත යුතුය. බොහෝ විට මෙම අවස්ථා අප අවට පරිසරයේ පවතින්නේ බැලූ බැල්මට අපට නොපෙනෙන අයුරිනි. එමනිසා අප විසින් කිසියම් වෙහෙසක් දරා මෙම අවස්ථා සොයා බැලීම කළ යුතුය.

ව්‍යාපාරික ලෝකයේදී මෙය අත්‍යාවශ්‍ය සාධකයකි. මන්ද අද පවතින තරගකාරී වාතාවරණය තුළ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් (GOODS or SERVICE) තම තරගකරුවා අභිබවා විකිණීමට උපකාරී වන හොඳම උපායමාර්ගයක් (STRATEGY) ලෙස මෙකී අවස්ථා හඳුනාගැනීම පෙන්වා දිය හැකිය. මෙය අලෙවිකරණය යන විෂය යටතේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. SCANNING THE MARKETING ENVIRONMENT යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ පතාක යෝධයකු බඳු වූ 'මයික්‍රො සොෆ්ට්' ආයතනය සෑම විටම තම තරගකරුවන්ට වඩා ඉදිරියෙන්ම සිටින්නේ ඉහත දැක්වූ උපායමාර්ගයේ ප්‍රතිඵලයක් වශයෙනි.

මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වන බිල් ගේට්ස් හට පමණක් නොව ඔබටද අවශ්‍යතාව සහ කැපකිරීම (Need and Commitment) තිබෙනවා නම් තමා අවට ලෝකය දෙස විමසිලිමත්ව බැලීමෙන් මෙවැනි අවස්ථා ඕනෑ තරම් හඳුනාගැනීමට හැකිවනු ඇත. ඔබගේ ජීවන තත්ත්වය ඉහළ තලයකට ගෙනඒම සඳහා හෝ ඔබගේ ව්‍යාපාරය එසේ නැතහොත් ඔබ වැඩකරන සේවා ස්ථානය දැනට පවතින මට්ටමේ සිට ඉහළට වර්ධනය කරගැනීම සඳහා අනිවාර්යයෙන්ම මෙකී අවස්ථා හඳුනාගැනීම කෙරෙහි නිරන්තර උත්සාහයක යෙදිය යුතුය.

අද දියුණු වී ඇති බොහෝ වෙළෙඳ ආයතන මේ ක්‍රියාවලිය සඳහා තම පාරිභෝගික සමූහයාගෙන් තොරතුරු එක් රැස් කිරීම දිගටම කරගෙන යන්නේ එබැවිනි. වෙළෙඳපොළ සමීක්ෂණය (Market Research) යනුවෙන් අප හඳුන්වන්නේ මෙම ක්‍රියාවලියයි. බොහෝ ආයතන මේ සඳහා සෑහෙන මුදලක් වැය කොට නියෝජිත ආයතනවලට පවා මෙම කටයුත්ත භාරදී තිබෙන්නේ මෙම තොරතුරු එක්රැස් කර ගැනීමෙන් නොයෙකුත් 'ව්‍යාපාරික අවස්ථා' හඳුනාගැනීමත් ඒවා සඳහා තම තරගකරුවාට ප්‍රථමයෙන් වෙළෙඳපොළට ගැළපෙන විසඳුම් ඉදිරිපත් කිරීමටත්ය. අද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජංගම දුරකථන සේවා සමාගම් තම සේවා පාරිභෝගික රුචිකත්වය අනුව නිරන්තර වෙනස්කම් වලට භාජනය කරන්නේ මෙකී පාරිභෝගික අවශ්‍යතා ව්‍යාපාරික අවස්ථාවක් (Business Opportunity) බවට හරවා ගැනීම සඳහාය.

අප අවට ඇති මෙකී ආකර්ෂණීය ව්‍යාපාරික අවස්ථා කිහිපයක් හඳුනාගැනීමට පහත දක්වා ඇති උදාහරණ උපයෝගී කරගනිමු. මේ සඳහා ප්‍රථමයෙන්ම අපි අවශ්‍යතාව හා වුවමනාව යන වචන දෙකේ තේරුම ඉතා නිවැරදිව දැනගත යුතුය. අද ලෝකයේ පවතින සියලුම ව්‍යාපාර ගොඩනැගී ඇත්තේ මෙම සංකල්පීය වෙනස පාදක කොටගෙනය. තවත් අයුරකින් කියනවා නම් අපගේ සියලුම සාමාජීය අවශ්‍යතා ලාබදායි ව්‍යාපාර බවට පෙරළාගැනීමට නම් මෙම අවශ්‍යතාව හා වුවමනාව අතර තිබෙන 'සියුම්' වෙනස 'සංකීර්ණ' අලෙවිකරණ සංකල්පයක් බවට පත් කර ගත යුතුයි.

 

ඉදිරි සතියේදී අප මේ පිළිබඳ වඩාත් දීර්ඝ ලෙස සාකච්ඡා කරමු.

නිශාන් බමු­ණු­ආ­රච්චි
අධ්‍යක්ෂ / වෘත්තීය  පුහුණු  කිරීමේ ජාතික අධ්‍යා­පන  පීඨය
ජ්‍යෙෂ්ඨ  කථි­කා­චාර්ය, 
කළ­ම­නා­ක­රණ උප­දේ­ශක

නව අදහස දක්වන්න

Or log in with...