කවදා හරි නිවේදනයට සම්මානයක් ගන්නවා | දිනමිණ

කවදා හරි නිවේදනයට සම්මානයක් ගන්නවා

සිරස නරඹන ප්‍රේක්ෂකයන්ට ඔබේ රුව හුරු ඇති. නමින් ඔබව නොහඳුනන අයට දැනගන්නත් එක්ක පළමුව නම කිව්වොත් හොඳයි?

මම අප්සරා දිසානායක.

ඔබ සිරස නාළිකාවේ වෘත්තීය නිවේදිකාවක්?

ඔව්.

අප්සරා මෙහෙය වන වැඩසටහන් මොනවද කියලා දැනගන්න කැමැතියි?

සිරසාලින්දය, බ්‍රස්තින්දා දින විතරයි මං එය මෙහෙයවන්නේ. ඊට අමතරව අඟහරුවාදා සිට සිකුරාදා දක්වා මගේ සින්දු පැය නිවේදන කටයුතු කරනවා.

ඔබේ නිවේදන චාරිකාවෙහි ආරම්භය සිදු වන්නේ කොහොමද?

මං පුංචි කාලේ ඉඳලා නිවේදිකාවන් වන්නට පෙරුම් පිරුවා. ඒ අතරතුරදි අවස්ථාවල් පවා හෙව්වා. ඒත් නෝ චාන්ස්. ඔය අතරෙ සිරස නාළිකාවට අලුතින් නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නවා කියලා දැන්වීමක් මඟින් දැනගන්නට ලැබුණා. මං එයට ඇප්ලයි කළා. ඉන්ටර්විව් එකට ගිය දවසේ තමයි තරු පෙනුණේ.

ඒ මොකද?

එතන තුන්දාහක් විතර හිටියා. ආපු එකේ ඕන දෙයක් වෙන්න කියලා මමත් ඊට සහභාගී වුණා. තුන්දාහක විතර පිරිස අතරින් තුන් දෙනයි එදා තෝරා ගත්තේ. ඒ අතර මාත් හිටියා.ඔබ හා හා පුරා කියලා වැඩසටහනක් මෙහෙයවපු දවස මතකද?

එදා ඉන්ටර්විව් එකෙන් පසුව මාව යොමු කළේ සිරස ගුවන් විදුලියට. තෝරා ගත් ඒ තිදෙනා අතරත් මං තමයි පළමුව ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කළේ.

ඒ මොකක්ද?

'ආදරේ හිත පිරෙන තරම්'

එය හරහා ඔබට ප්‍රේක්ෂක ආදරය ද හිත පිරෙන්න ලැබෙන්න ඇති?

අනිවාර්යයෙන්ම ඒ වැඩසටහන දහවල් විකාශය වූ නිසා ගොඩක් දෙනා රස වින්දා. කමෙන්ට් එහෙමත් හුඟක් හොඳයි. ඊට පසුව එම ගුවන් කාලයේදීම ආදරෙයි මං සමනලී කියලා වැඩසටහනක් කළා.

මුල් කාලේ ඔබ සජීවි වැඩසටහන් මෙහෙයවද්දී සොඳුරු අත්දැකීම් විඳගන්න ලැබුණා කියලා ආරංචියි?

අම්මෝ ඔව්. සාමාන්‍යයෙන් මැදිරියට ගිහිල්ලා කවුරු හිටියත් සද්දෙට 'මයික් ඔන්' කියලා පවසලා තමයි මයික් ඔන් කරන්නේ. පළමු දවසේ හිතේ තිබුණු ගැස්මට මං මයික් ඔන් කරලා 'මයික්ස් ඔන්' කියලා කිව්වා. මං කියපු එක එහෙම්මම ප්‍රචාරයත් වුණා. ඒ බව දැනගත් මම තවත් ෂොක් වුණා. මං මෙහෙය වූ වැඩ සටහනේ ඇතැම් අවස්ථාවල හැඟුම්බරව කතා කරන්න ඕනෑ. එවැනි ඇතැම් මොහොතවල හිනා ගිය අවස්ථා තියෙනවා. නමුත් ඒක ශ්‍රාවකයන්ට නොදැනෙන්න මං වැඩ කළා.

සිරස ගුවන් විදුලියේ තවත් වැඩසටහන් කිහිපයක්ම ඔබ මෙහෙය වූවා නේද?

ඔව්. දහසක් මල්, ලොවින් කැදැල්ල, සිංන්දු සන්ඩේ ඉන් කිහිපයක්.

සිරස ගුවන් විදුලියෙන් කොහොමද ඔබ සිරස රූපවාහිනියට එන්නේ?

ඒ වැඩසටහන්වලින් අනතුරුව තමයි සිරස රූපවාහිනියට එන්නේ. ඇවිත් මෙහෙය වූ පළමු වැඩසටහන තමයි සිරසාලින්දය.

ගුවන් විදුලියේද රූපවාහිනියේද නිවේදන කටයුතු පහසු?

ඇත්තම කිව්වොත් රූපවාහිනියේ නිවේදන කටයුතු කරන්න හරිම ලෙහෙසියි.

ඇයි ඔබ එහෙම කියන්නේ?

ගුවන් විදුලියේ නිවේදන කටයුතු කරද්දී හඬින් විතරයි හරඹ කරන්න ඕනෑ. ශ්‍රාවකයන්ට අපේ රූපය පේන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඔවුන්ව ඇද බැඳ තබා ගන්න ඕනෑ කටහඬින්ම පමණයි. රූපවාහිනි මාධ්‍යයේ එහෙම නැහැ. අපේ රූපයත් පෙනෙන්න තියෙන නිසා හඬ භාවිත කරන්න ඕනෑ රූපය හා සමගාමීවයි. එහෙම බලන කොට මට රූපවාහිනී මාධ්‍යයෙහි වැඩ කටයුතු කිරීම හරිම පහසුයි.

ඔබට සැලකිය යුතු රුවක් තිබෙනවා. ආරාධනා ලැබුණේ නැද්ද රංගනයට?

ලැබුණා, ලැබුණා. ඒත් මං ගියේ නැහැ.

හේතුව?

මං හිතනවා මට රඟපාන්න බැහැ කියලා. පුළුවන් දේ විතරක් කරගෙන හිටියා නම් හරිනෙ.

අද වන කොට බොහෝ නිවේදිකාවන් රංගනයට ඇවිත් තිබෙනවා. ඒ අය නිවේදකයෙක් ලෙස ලබාගත් ජනප්‍රියත්වයට වඩා ජනප්‍රියත්වයක් රංගනයෙන් ලබලා තියෙනවා?

ඒ වුණාට මගේ වෘත්තියෙන් ලබන ජනප්‍රියත්වය මට ඇති. බැරි වැඩ කරන්න ගිහින් තියෙන ජනප්‍රියත්වයත් නැති වුණොත් එහෙම.

අප්සරාගේ අරමුණ මොකක්ද?

දක්ෂ නිවේදිකාවක් වීම.

සම්මානනීය වන්නටත් පෙරුම් පුරනවා වගෙයි?

ඇයි නැත්තේ. අප්සරා දිසානායක කවදා හරි නිවේදනය නවත්වන්නේ සම්මානයක් අරගෙන.

ඒ කියන්නේ හෙට සම්මානයක් ගත්තොත් ඔබ නිවේදනයෙන් අයින් වෙනවා?

නැහැ. නැහැ. මගේ හිතේ තියෙන එකම බලාපොරොත්තුව සම්මානයක් ගැනීම කියලයි කිව්වේ.

වර්තමානයේ ඉන්න නවක නිවේදක නිවේදිකාවෝ කිසිම හරයක් නැතුව කියවනවා කියලා චෝදනාවක් තියෙනවා. හරියට ගිරව් වගේ?

හරියට හරි. ඔය වගේ අය මමත් දැකලා තියෙනවා. අපි කතා කරන දේ පදනමක් ඇතුව කරන්නට ඕනෑ. නැත්නම් අර ගිරව්ගේ ගාණට අපිවත් වැටෙනවා.

අප්සරා මේ වන විට ප්‍රේමවන්තියක්ද?

නැහැ.

ඔබ වගේ කෙනෙකුට ආදර යෝජනා අනන්තවත් එනවා ඇති?

ඔව්. එහෙම එනවා.

ක්ෂ්ත්‍රයේ අයගෙන්, විශේෂයෙන් නිවේදකයකුගෙන් එහෙම යෝජනාවක් ඇවිත් නැතිද?

තියෙනවා. ඒත් මං බැහැ කිව්වා. දැන්මම ඕවා ගැන හිතන්නට බැහැ. මං හරියට නිදහස හොයන කෙනෙක්. ආදර සබඳතාවයක පැටලුණොත් ඒ නිදහස නැති වේවි.

වෙනත් නාළිකාවකින් ආරාධනා ලැබිලා නැද්ද? මං ඇහැව්වේ සිරසට වඩා වැඩි ඔෆර් එකකට ඔබට අඬගහලා නැතිද කියලා?

එහෙම ආරාධනා නම් තියෙනවා. ඒත් මං සිරස දාලා යන්නේ නැහැ.

මොකක්ද ඒ සිරසත් එක්ක තියෙන දාලා යන්න බැරි හිතවත්කම?

මං සිරසට එන්න කලින් ඇහැව්ව එකම නාළිකාව තමයි සිරස. මං සිරසට ගොඩක් ආදරෙයි. මං එච්චරටම ආදරය කළ නාළිකාවට මට සේවය කරන්න ලැබීම මගේ වාසනාවක්. ඒක තමයි මගේ හිතවත්කම.

අප්සරා මොන වගේ කෙනෙක්ද?

හිත හොඳ කෙනෙක්.

කාටද තුති පුදන්න තියෙන්නේ?

උදව් කරපු හැමෝටම.

 


නව අදහස දක්වන්න