දිනකට මිරිස් රාත්තල් 5ක් කන චීනයේ ලී | දිනමිණ

දිනකට මිරිස් රාත්තල් 5ක් කන චීනයේ ලී

ලී යොංග්සි 48 හැවිරිදිය. චීනයේ හොනාන් ප්‍රාන්තයේ ෂාවොලි ගම්මානයේ වෙසෙන ලී ගමේ හැමෝම හඳුන්වන්නේ මිරිස් රජ්ජුරුවෝ ලෙසිනුයි. කටට සැරට මුකුත් නැතිව කෑමෙන් වැඩක් නැහැ කියන උදවිය ඉන්න අ‍පේ රටේ වගේ ලීටත් මිරිස් නැත්නම් කිසිම වේලක් කන්න බැහැ. හැබැයි ලී ගේ මිරිස් කෑම නම් එසේ මෙසේ කෑමක් නොවෙයි. ඔහුට දිනකට කෑම සඳහා මිරිස් රාත්තල් 5ක් අවශ්‍යමයි.

ලීට බිත්තර හෝ මස් මාළු නැතිව කෑම ගැනීම සුළු දෙයක් වුවත් මිරිස් නැතිව නම් කිසිම දෙයක් කන්න බැරි පුරුද්ද ඇතිවුණේ කුඩා අවදියේ සිටමයි. එහෙත් මේ විදිහට මහා පරිමාණ වශයෙන් මිරිස් ආහාරයට ගැනීමට ඔහු හුරුවෙලා දැනට දස වසරක් පමණ ඇති.

අප බොහෝ දෙනකු පුරුදුව සිටින්නේ උදෑසන අවදි වූ විගස නැවුම් වතුර වීදුරුවක් පානය කිරීමටයි. එහෙත් ලී උදෑසන දවස ආරම්භ කරන්නේ මිරිස්වලින් සෑදූ පානයකිනුයි.

“බොහෝ අය උදෑසන දත් මදිනවා. ඒත් මං එහෙම නැහැ. මං ඒ වෙනුවට නැවුම් වීම සඳහා කරන්නේ මිරිස් කෑමයි. උදෑසන ආහාර වේලේ පටන් සෑම වේලකටම මං මිරිස් කනවා. මිරිස් නැත්නම් මට ඒ කෑමෙන් වැඩක් නෑ” යනුවෙන් ලී පවසයි.

ලී මෙතරම් මිරිස් කෑමට ඇබ්බැහි වීම ද අහම්බෙන් වූවකි. එහෙත් ඔහු මිරිස් ආහාරයට ගත්ත ද ඒ මෙතරම් විශාල ප්‍රමාණයක් නොවේ. මීට දස වසරකට පෙර දී ලීගේ පුත්‍රයා හදිසි අනතුරකට ලක්ව රෝහල්ගත කෙරිණි. පුතුගේ රෝහල් බිල යුආන් දසදහස් ගණනක් විය. රෝහල් බිල ගෙවීමෙන් අනතුරුව ඔහු අත ඉතිරි වූයේ සොච්චම් මුදලකි. දවස ගෙවා ගැනීමට තරම්වත් මුදල් නොතිබූ ඔහුට අවසානයේ එදා වේලවත් පිරිමසාගත නොහැකි විය. දිනක් ඔහු මහමඟ ඇද වැටුණේ කුසට අහරක් නොමැතිව සිහිසුන් වීමෙනි.

“මගේ පුතා බලාගන්නනම් මං කෙළින් කටින් සිටිය යුතුයි කියා සිතා මා මුදල් ටිකක් සොයාගෙන බඩට මුකුත් දමාගන්න ආපන ශාලාවකට ගියා. මං හිටියේ හොඳටම කුසගින්නේ කුස පිටපොත්තටම ඇළිලායි. ඒත් මගේ අවාසනාවට ආපන ශාලාවේ ආහාර ඉවර වෙලා. කෑමට කිසිම දෙයක් නෑ. මට වෙන තැනකට යන්න පණත් නෑ. මං ආපන ශාලාවේ තිබූ විශාල මිරිස් කුඩු තසින් දෙකක්ම ටැප් වතුර බොමින් කාගෙන කාගෙන ගියා. මං එහෙම කළේ කොහොම හරි කුස පුරවා ගැනීමටයි. කට දැවිල්ල මට ප්‍රශ්නයක් වුණේ නැහැ” යැයි සිය ප්‍රථම මිරිස් කෑම ගැන ලී විස්තර කළේය.

ලී ගේ මිරිස් කෑම සාමාන්‍ය පුද්ගලයකුගේ මෙන් දස ගුණයකටත් වඩා වැඩිය. මිරිස් කෑමට වහල් වීමෙන් පසු හෙතෙම නොකඩවා මිරිස් ලබා ගැනීම සඳහා සිය ගෙවත්තේ මිරිස් වවා ගත්තේය. ඔහුගේ ගෙවත්තේ මේ වෙද්දී අට වර්ගයක මිරිස් සිටුවා ඇත්තේ හිඟයකින් තොරව ඔහුගේ රුචිය පිරිමසා ගැනීම සඳහාය.

මිරිස් අනුභවය වැඩිවෙද්දී ඉන් සිරුරට ගැහැටක් නොවන බව වටහා ගැනීමත් සමඟ ලී ක්‍රමයෙන් මිරිස් අනුභවය වැඩි කළේය. මේ වෙද්දී ලීට වේල් තුන සඳහා පමණක් දිනකට රාත්තල් 5ක පමණ මිරිස් අවශ්‍යය. ප්‍රධාන ආහාර වේල්වලට අමතරව ලී අතරතුර කෙටි කෑම ලෙස ද මිරිස් ආහාරයට ගනී. ඔහු දිනපතා ගන්නා මිරිස් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයකු මසකදී ආහාරට ගන්නා මිරිස් ප්‍රමාණයටත් වඩා වැඩිය.

මිරිස් අධිකව ආහාරයට ගැනීම නිසා ඔහු අකරතැබ්බයකට මුහුණ දුන් අවස්ථා ද නැත්තේ නොවේ. දිනක් ඔහු ආපන ශාලාවකට ගියේ දිවා ආහාරය සඳහාය. අවශ්‍ය තරම් මිරිස් සැර නොමැතිකම නිසා ඔහු එහි මේසය මත තිබූ මිරිස් කෑලි බඳුනම සිය පිඟානට හිස්කර ගත්තේය. හෝටල් සේවකයා යළිත් මිරිස් කෑලි බඳුනක් ගෙනැත් තැබුව ද එය ද හිස් විය. අවසානයේ සේවකයා මේසය මත තබන මිරිස් කෑලි බඳුන අසුරු සැණින් හිස් වන බව ආපන ශාලා කළමනාකරුට පැමිණිලි කළේය.

“උඹ මිරිස් කෑලි හොරකම් කරනවා” ආපන ශාලා කළමනාකරු ලීට චෝදනා කළේය.

“නෑ මං ඒවා කෑවා”

“ඒක වෙන්න බෑ. මිරිස් කෑලි භාජන තුනක්ම හිස් කළේ කොහොම ද?”

අවසානයේ ලීට සිදු වූයේ තවත් මිරිස් කෑලි බඳුන් කීපයක් හිස්කර තම නිදොස් බව කළමනාකරු ඉදිරියේ පසක් කිරීමටය. ඔහු මිරිස් කෑලි අනුභව කරන අන්දම ආපන ශාලාවේ ඒ මොහොතේ සිටියෝ පුදුමයෙන් බලා සිටියහ.

“මා අන් පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය හා නිරෝගී පුද්ගලයකු යැයි වෛද්‍යවරු පවසනවා. මට කිසියම් සුපිරි බලයක් නෑ. මං නිකම්ම මිරිස් කනවා ඒ වගේම ඕනැතරම් මිරිස් කන්නත් මට පුළුවන්” යනුවෙන් ලී පවසයි.

2009 වසරේදී හොනාන් ප්‍රාන්තයේ පැවැති මිරිස් අනුභව කිරීමේ තරගයකදී වැඩියෙන්ම මිරිස් ආහාරයට ගෙන ජය ගත්තේ ලී ය. එනිසා හුනාන් ප්‍රාදේශීය රජය විසින් ඔහු ‘මිරිස් රජ්ජුරුවෝ’ යන සම්මානයෙන් පුදනු ලැබීය. එතැන් පටන් ඒ පළාතේ සැවොම දැනුදු ඔහු හඳුන්වනුයේ ‘චිලී කිංග්’ හෙවත් මිරිස් රජු ලෙසිනි.

 

සේමාලි කැල්ලපත


අදහස් 1ක් ඇත

Meya Nam miris nethikaranna aawa kenek wage......eth dewiyane ohomath kanna puluwanda

නව අදහස දක්වන්න