මාලිගාවත්තේ නිවෙසක ගව ඝාතකාගාරයක් | දිනමිණ

මාලිගාවත්තේ නිවෙසක ගව ඝාතකාගාරයක්

කොළඹ දකුණ සමූහ ගාමිණී රූපානන්ද

කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ නිවෙසක ‍රහසිගතව කලක පටන් පවත්වාගෙන යනු ලැබූ නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.

පොලිසිය මේ ස්ථානය වටලන විටදී එහි මරණයට පත්කළ ගවයකු ද සිට ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 45,55 සහ 56 වියේ පසුවන කොළඹ මාලිගාවත්ත මහල් නිවාස‍යන්හි පදිංචිකරුවන් තිදෙනෙකි.

තවද මේ සැකකාර නිවෙස පරීක්ෂා කිරීමේදී ඝාතනය කර මස්කර තිබූ ගවයකුගේ හිසක් හා ගවමස් කිලෝ 160ක ප්‍රමාණයක් ද සොයාගෙන ඇත. ගවයා ඝාතනය සඳහා යොදාගත් කෙටේරි, කැති, පිහියක් ඇතුළු උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් විසින් ඉතා රහසිගත ලෙසින් අදාළ ස්ථානය වෙත රැගෙන එනු ලබන ගවයන් සූක්ෂම ලෙසින් ඝාතනය කර එම මස් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට හොර රහසේම අලෙවි කර ඇති බව පොලිසිය කියයි.

මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එම්. ඒකනායක මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල සනත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක මනෝජ්, පො.කො. රත්නායක, දමිත් ඉසුරු විජේසිංහ හා කාන්තා පොලිස් කොස්තාපල් හංසනී යන කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යනු ලැබේ.


නව අදහස දක්වන්න