ලොතරැයි දිනුමකින් දෙන විශාලම මුදල ගොවිසෙතින් | දිනමිණ

ලොතරැයි දිනුමකින් දෙන විශාලම මුදල ගොවිසෙතින්

ඉතිහාසගත සුපිරි ත්‍යාගයක් ලබා දෙමින් මෙවර දිනුම් අදිනු ලබන ගොවිසෙත දිනුම් ඇදීමෙන් සුපිරි ත්‍යාගය ලෙස රුපියල් දස‍කෝටි පන් ලක්ෂ අසූ දහස් තුන්සිය හැට දෙකක් (රු. 100580362/-) ලබා දීමට ජාතික ලොතරැයි මණ්ඩලය සුදානමින් සිටියි.

එක් ජයග්‍රාහකයෙකු වෙනුවෙන් මෙතරම් සුවිශාල මුදලක් මින් පෙර කිසිදු ලොතරැයියකින් හෝ කිසිදු තරගයකින් පිරිනමා නැති අතර මේ මොහොත ඉතිහාසගත වනු ඇත.

මේ ත්‍යාගය වෙනුවෙන් දිවයින පුරා සියලුම තරාතිරමේ පාරිභෝගික ජනතාව දැඩි උනන්දුවක් දක්වන අතර අලෙවි නියෝජිතවරුන්ද පෙර නොවූ විරූ උනන්දුවකින් තම අලෙවි කටයුතුවල නිරතවනු දැක ගත හැකිය.ගොවිසෙත ලොතරැයියේ ත්‍යාග මුදල කොතරම් විශාල වුවද සම්භාවිතාව හා කෙනෙකුගේ වාසනාව මත එය නියමිත දිනුම් වාරයේදී හෝ කුමන දිනුම් වාරයකදී හෝ කිසිවෙකු දිනාගන්නවා ඇත. එදිනට අදාළ ත්‍යාග මුදල අනිවාර්යයෙන්ම ‍ඔහුට පිරිනැමීමට ජාතික ලොතරැයි මණ්ඩලය බැඳී සිටී.

ගොවිසෙත ලොතරැයියේ සුපිරි ත්‍යාගය ඉතා කඩිනමින් කිසිවෙකුට හිමිවනු දැකීම ජාතික ලොතරැයි මණ්ඩලයේ අපේක්ෂාව වන අතර මේ වසර තුළ මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලය සුපිරි ත්‍යාගලාභීන් 28 දෙනෙක් බිහිකර ඇති අතර ගොවිසෙත ලොතරැයියෙන්ම බිහි වූ හත්කෝටිපතියෙක් ද ඒ අතර වීම විශේෂත්වයකි.

ගොවිසෙත ලොතරැයිය ආරම්භ කරනු ලැබුවේ 1995 වසරේදීය. අප රට බත බුලතින් සරු කරන ගොවි ජනතාවගේ සුබ සෙත උදෙසා හා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා අරමුදල් සැපයීම මූලික කරගනිමින් මේ ලොතරැයිය ආරම්භ විය.ගොවිසෙත ලොතරැයියේ විශාල ජයග්‍රාහකයන් ප්‍රමාණයක් බිහිවන අතර ඔවුන්ට විශාල ත්‍යාග ප්‍රමාණයක් පිරිනැමේ. එසේම මෙයින් ලැබෙන ආදායමින් ප්‍රතිශතයක් රජයේ ඒකාබද්ධ අරමුදල හරහා කෘෂිකර්ම අමාත්‍යාංශයට බැර කෙරේ.

ගොවිසෙත ලොතරැයියේ සුපිරි ත්‍යාගය රුපියල් කෝටි 4කින් ආරම්භ කරනු ලැබුවේ 2013 වසරේ සිටය. එතැන් සිට හාරකෝටි පන්කෝටි සහ හත්කෝටිපතියන් ආදී වශයෙන් කෝටිපතියන් රැසක් බිහි වී ඇත.

ආරම්භයේ ගොවි සෙත ලොතරැයිය දිනුම් අදිනු ලැබුවේ සතියට එක් දිනක් පමණි. ලොතරැයිය දිනෙන් දින ජනප්‍රියවීම හේතුවෙන් පසුව එය සඳුදා හා බ්‍රහස්පතින්දා දින දිනුම් අදිනු ලැබීය. මෑත කාල වකවානුව වන විට ගොවිසෙත වටා පාරිභෝගික ජනතාව තව තවත් රොද බඳනු බව පෙනිණ. දිවයින පුරා වූ වෙළෙඳපොළ අවශ්‍යතාව ගැන අවධානය යොමු කළ නව කළමකාකාරීත්වය දිනුම් ඇදීමේ දින දෙක දින තුන දක්වා වැඩි කිරීමට තීරණය කරනු ලැබීය. එය 2015/09/05 දින සිට ක්‍රියාත්මක කරන ලැබූ අතර ඒ අනුව දැන් ගොවිසෙත සඳුදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනුම් අදිනු ලබයි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (12) කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් පැවැත්විණි. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ අවස්ථාවට ක්‍රියාකාරී අධ්‍යක්ෂ එම්.කේ. හසන්, සාමාන්‍යාධිකාරී නාලක කලුවැව, අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රභාත් සන්ධ්‍යා තේජ, ප්‍රධාන මූල්‍ය නිලධාරී හර්ෂ බණ්ඩාර, ප්‍රධාන අලෙවි නිලධාරී අසන්ත කල්‍යානන්ද, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) මෙනුර චතුරංග හා සහකාර සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම්) එස්.ජී.වී.එස්.එම්. ගුණසේකර මහත්වරු ද සහභාගී වූහ.


නව අදහස දක්වන්න