හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි දශකයක ගමන් මග සමරයි | දිනමිණ

හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි දශකයක ගමන් මග සමරයි

'රමණී ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි' (Ramani Fernando Sunsilk Hair and Beauty Academy) පුහුණු ආයතනයට වසර 10ක් පිරීම නිමිත්තෙන් 'හෙයාර් ආර්ට් 2015' (Hair Art 2015) ප්‍රදර්ශනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට එම ආයතනය මේ වන විට සියලු කටයුතු සැලසුම් කර තිබේ. මෙම ප්‍රදර්ශනය හිසකෙස් විලාසිතා ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා කරළියට ගෙන එන මහා තෝතැන්නක් වනු ඇත.

2015 දෙසැම්බර් 08වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම ප්‍රදර්ශනයේ දී 2015 වසරේ රමණී ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි වෙතින් සුදුසුකම් සපිරූ සිසු සිසුවියන්ගේ දක්ෂතා හා කුසලතා එළි දැක්වීමට නියමිතව තිබේ. කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ 'Hip Hop' කාණ්ඩය යටතේ නව යොවුන් වියේ කොණ්ඩා මෝස්තර හා විලාසිතා ද 'Hair Silhouette' කාණ්ඩය යටතේ දිගු කොණ්ඩා සඳහා ගැළපෙන නව මෝස්තර ප්‍රවණතා ද 'Celestial Signs of the Zodiac' කාණ්ඩය යටතේ අපූර්ව ගණයේ විලාසිතා ද එළි දැක්වෙනු ඇත. රමණී ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි වෙතින් පුහුණුව ලද සිසු සිසුවියන්ගේ දක්ෂතා එළි දැක්වීමට අමතරව මෙම ප්‍රදර්ශනයේ දී විශේෂ සම්මාන කිහිපයක් ප්‍රදානය කිරීමට ද කටයුතු සැලසුම් කර තිබේ. මේ වසරේ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් විශිෂ්ටත්ව පදක්කම (City & Guilds' Medal of Excellence) සහ වසරේ හොඳම ශිෂ්‍යත්ව සිසුවා / සිසුවිය සඳහා පිරිනැමෙන සන්සිල්ක් සම්මානය (Best Sunsilk Student Award) මේ අතරින් ප්‍රධානය.

ආරම්භයේ සිට මේ දක්වා රමණී ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමිහි සිසු සිසුවියන් 4600කට වැඩි පිරිසක් පුහුණුව ලබා තිබේ. මේ අතරින් සිසුන් 250කට අධික පිරිසකට ශිෂ්‍යත්ව පිරිනමා තිබීම මෙහි තවත් විශේෂත්වයකි. රටේ කේශ අලංකරණය හා රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වීමේ හැකියාව පෙන්නුම් කරන සිසු සිසුවියන්ට යුනිලීවර් ශ්‍රී ලංකා සහ සන්සිල්ක් එක්වී මෙසේ ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ. මේ යටතේ කේශ අලංකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා වසරකට සිසු සිසුවියන් 24 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා වනිතා ඒකකය වෙනුවෙන් ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන වැනි වි‍ශේෂ වැ‍ඩසටහන්ද ක්‍රියාත්මක වේ. 2009 වසරේ දී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රමණී ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමිහි පුහුණුව ලද ශිෂ්‍යාවක ලොව දක්ෂතම සිසුන් අතරට එක්වෙමින් කේශ අලංකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් විශිෂ්ටත්ව පදක්කම (City & Guilds' Medal of Excellence) හිමිකරගැනීමට සමත් විය. එදා පටන් සෑම වසරකදීම ආයතනයට එම පදක්කම හිමි වූ අතර එය රමණී ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි මගින් ලබාදෙන පුහුණුවේ විශිෂ්ටත්වයට මනා සාක්ෂියකි.

මේ වන විට කොණ්ඩා ටින්ට් කිරීම, පර්ම් කිරීම, හිසකෙස් කැපීම, හැඩගැන්වීම සහ මනාලියන් හැඩගැන්වීම වැනි විවිධ අංශ සම්බන්ධව ඩිප්ලෝමා උසස් සහතිකපත්‍ර පාඨමාලා සහ විශේෂ පාඨමාලා ආදිය පිරිනැමීමට රමණී ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි කටයුතු කරයි. මෙම පාඨමාලාවට අදාළ විෂය මාලාවන්ට හැඩවැඩ වීම, ප්‍රතිරූප වර්ධනය සහ ඉංග්‍රීසි භාෂා පුහුණුව වැනි අංග ‍ද ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.

එමෙන්ම මීට අදාළ විෂයන් ඉගැන්වීම හෝ පුහුණු කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට ද ආයතනය කටයුතු කරයි.

ඡායාරූපය-රංජිත් අසංක


නව අදහස දක්වන්න

Or log in with...