මහ වැස්සෙන් පවුල් 27844ක් අසරණයි | දිනමිණ

මහ වැස්සෙන් පවුල් 27844ක් අසරණයි

රක්ෂණ ශ්‍රියන්ත
උපාලි කරුණාරත්න

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12ක පවුල් 27844ක 94885ක පිරිසක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මුලතිව්,නුවරඑලිය, බදුල්ල, පුත්තලම, ගම්පහ, ත්‍රිකුණාමලය, මාතලේ,

යාපනය, කිලිනොච්චිය, ෙකාළඹ, මන්නාරම සහ මඩකළපුව දිස්ත්‍රික්කවලට වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. කඳවුරු විසි එකක අවතැන් වූ පවුල් හාරසිය හතලිස් දෙකක පුද්ගලයන් 1257ක් රදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි. මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 575ක් ද යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2000 කට වැඩි සංඛ්‍යාවක් ද කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 800ක් පමණ ද, පුත්තලම දිස්ත්‍රික්කයේ විපතට පත් පවුල් 1421ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1251ක් ද පීඩාවට පත්ව සිටිති. උතුරු පිවිසුම් මාර්ග රැසක් ද ගංවතුර තත්ත්වයෙන් අවහිර වී ඇත. අවතැන්වූවන් සඳහා ඇතැම් දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන ද පිහිටුවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

වැසි ජලය බැස නොයාම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1554 ක පුද්ගලයන් 4661 ක් හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේපවුල් 717ක පුද්ගලයන් 1943ක් ද, මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 204ක පුද්ගලයන් 618 දෙනෙකුව ද පීඩාවට පත්ව ඇත.

එමෙන්ම අවතැන් වී සිටින පිරිස් සඳහා අවශ්‍ය වියලි සලාක ලබා දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු රජය විසින් යොදා තිබේ.

අධික වර්ෂාවත් සමග අනුරාධපුර නගරය ආසන්නයෙන් වැව් ගණනාවක වාන් දොරටු විවෘත කර තිබේ. මල්වතු ඔයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර රාජාංගණය ඇතුළු ජලාශ 16 ක වාන් දොටුව වර්ෂාවත් සමග විවෘත කර ඇත. දැදුරුඔය, තබ්බෝව, ලුණුගම්වෙහෙර, ඒරුවැව හා වෙහෙරගල ඇතුළු ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද ඉල්ලීමක් කර තිබේ. මේ අතර බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් අද (16) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි සුළං සමග තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව ය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනේ උතුරු අර්ධයේ වැසි‍හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් දිවයින වටා වන මුහුද ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර 70-80 පමණ දක්වා ඉහළ යාහැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවත් පවසයි. විශේෂයෙන්ම දකුණු, නැ‍ඟෙනහිර, වයඹ සහ උතුරු වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.


නව අදහස දක්වන්න