මම ඉක්මන් කේන්තිකාරියක් | දිනමිණ

මම ඉක්මන් කේන්තිකාරියක්

වේදිකාව, පුංචි තිරය සහ සිනමාවේ කලින් කලට දක්නට ලැබෙතත් අදටත් ඇය ජනප්‍රියය.එහෙයින් මෙවර තරුවක් සමග වරුවක් අපගේ විශේෂාංගය ඇය වෙනුවෙන් වෙන් කළා. සිවම්මා ධනපාල වේදිකා නාට්‍යයෙහි ගුණපාලි වූ ඇය මේ දිනවල තිරගත වන 'මයි නේම් ඉස් බන්ධු' හී අන්ජු ගේ චරිතය නිරූපණය කරයි. ඇය රශ්මි පුෂ්පිකා.

 

රශ්මි සැබෑ ජීවිතයේ දී භූමිකා කීපයක් නිරූපණය කළ කෙනෙක්?

ඔව්. මම රංගන ශිල්පිනියක්, සහාය අධ්‍යක්ෂවරියක්, වරක් මාධ්‍යවේදිනියක්. දැන් නම් ව්‍යාපාරිකාවක්.

කුඩා කාලේ ඉඳලම තිබුණු පුරුද්දක් වගෙයි?

ඔව්. පාසලේදිත් හැම දේකටම යොමු වුණා. පුංචි කාලේ ඉඳලම සබකෝලය කියලා දෙයක් මට තිබුණේ නැහැ. මගේ තාත්තිත් පොඩි කාලේ ඉඳලම හැම දේටම මාව යොමු කළා. පොඩි කාලේ වගේම දැනටත් ක්‍රීඩාවට මං දක්ෂයි.

හොඳයි කලාවට ඇවිත් දැන් කොච්චර කාලයක් වෙනවාද?

වසර විස්සක්. 1996 රාජ්‍ය ළමා නාට්‍ය උළලේ පාසල් වේදිකාව නියෝජනය කරමින් තමයි මම ප්‍ර‍සිද්ධ වේදිකාවට පිවිසුණේ. නමුත් ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වීම අහම්බයකින් සිදු වූ දෙයක්.

ඒ මතකය අවදි කළොත්?

සේනක විජේසිංහ මහත්මයාගෙන් 1998 දී මගේ පළමු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඒ දවස් වල චකිතයක් කියලා දෙයක් තිබුණෙත් නැහැ. ඒ නිසා උනන්දුවෙන් ආසාවෙන් එකතු වුණා. එය ‘නාග පෝරුව‘ කියලා ඒකාංගික ටෙලි නාට්‍යයක්. හැබැයි අදටත් එය විකාශය වෙලා නැහැ.

රංගන ශිල්පිනියක් ලෙස ඔබ වඩාත් ස්ථාවර ?

වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව යන මේ ත්‍රිත්වයම මම ජය ගෙන තිබෙනවා.

මේ වන විට පුංචි තිරයේ ඔබ සහාය අධ්‍යක්ෂිකාවක් පමණයි?

නැහැ. මං නාට්‍ය ගොඩකට සම්බන්ධ වුණා. ඒ අතර තුර සහාය අධ්‍යක්ෂිකාවක් ලෙසත් මම මේ ක්ෂේත්‍රයේ සිටිනවා.

රංගනයේදී රශ්මි වුණු ඔබ අධ්‍යක්ෂණයේදි පුෂ්පිකා වන්නේ ඇයි?

රෂ්මි කියන නම් මට හොඳයි කියලා කියනවා. නමුත් සහාය අධ්‍යක්ෂකවරියක් ලෙස පුෂ්පි කියලයි ෆිල්ඩ් එකේ අය දන්නේ. මම හිතනවා අධ්‍යක්ෂණයේදි ඒ නම මට උචිතයි කියලා.

නමුත් රශ්මිට තවමත් තරුවක් වෙන්න බැරි වෙලා තියෙනවා?

ඔව්. සහතික ඇත්ත. මගේ අවාසනාවකට ක්ෂේත්‍රයේ වසර විස්සක් වුණත් තවමත් මම ජනප්‍රිය චරිතයක් නෙමෙයි. නමුත් මම මේ ක්ෂේත්‍ර‍යේ රැඳිලා ඉන්නවා. ප්‍රේක්ෂකයන් අතරත් යම් කිසි තැනක නැතුවා නොවෙයි.

වසර විස්සක් ගත වෙලත් තරුවක් වෙන්න බැරි වුණේ ඇයි?

මුලිකම දේ වාසනාව. අනිත් කාරණය මගේ පෙනුම රංගනයේදි ඕනෑම ස්වරූපයකට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා බොහෝ වෙලාවට රංගනයේදී මගේ ස්වරූපය විවිධාකාරයි. මේ නිසා මගේ සැබෑ රූපය බොහෝදෙනෙක් හඳුනන්නේ නැහැ. නමුත් පුංචි දරුවෝ මාව හඳුනා ගන්නවා.

ඒ කියන්නේ, ඔබේ පෙනුම රංගනයේදි ඔබට ආභරණයක් වුණත් ජනප්‍රියත්වයට බාධාවක් කියලද?

රංගන ශිල්පිනියක් ජනප්‍රිය නොවීම පාඩුවක්. නමුත් දෙනවක හාමිනේ ගේ වයසේදී හෝ මගේ දක්ෂතාව පිළිබඳ කතා කරාවී, තැනක් ලැබේවි යැයි සිතනවා. දැනටත් වේදිකාවේ දී මිනිසුන්ගෙන් සජීවීව ලැබෙන ඇගැයිම් පිළිබඳ හරිම තෘප්තිමත්.

ඔබෙන් පසු ආ අය අද ජනප්‍රිය තරු වීම ගැන දුකක් නැද්ද?

නැහැ. ඒ ඔවුන් ගේ වාසනාව.. දක්ෂ අයත් ඉන්නවා. වාසනාව නිසා ජනප්‍රිය අයත් ඉන්නවා. නමුත් මේ අතර බිහි වෙන්නම් වාලේ බිහි වෙන අයත් ඉන්නවා.

ඔබ දැන් වෘත්තීය රංගන ශිල්පිනියක් නොවෙයිද?

වෘත්තිය වශයෙන් මම කලාව තෝරා ගෙන හිටියේ. ඒ අතර තුරේදි තමයි නිදහස මාධ්‍යවේදිනියක් ලෙසත් සේවය කළේ. ඉතින් මේ හැම දේකම නියැළිලා ඒවා අත පත ගාලා ඒ පිළිබඳ කලකිරිලා තමයි අන්තිමේදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න තීරණය කළේ. ඉතින් රශ්මි සැලොන් සහ බුවිනා ෆැෂන්ස් නමින් මගේම ව්‍යාපාරයක් ආරම්බ කරලා තියෙනවා.

රශ්මි හරිම කුකුල් කේන්තිකාරියක් ලූ නේද?

මං ඉක්මන් කේන්තිකාරයෙක් තමයි. කියන දේ මූණටම කියලා දානවා. හිතේ දෙයක් නැහැ. නමුත් හරිම සෙන්සිටිව්. අහක යන තොප්පි දාගන්නවා කියලත් සමහරු කියනවා.

කේන්තිකාරියකට ක්ෂේත්‍රයේ කැපිලි වැඩි නේද?

ෆිල්ඩ් එකේ කාටත් කොයි කාලෙත් කැපිලි කෙටිලි තියෙනවා. මටත් කැපිලි කෙටිල් අනන්තවත් තිබුණා. ඒවා දරා ගන්න බැරි කාලෙකුත් තිබුණා. නමුත් දැන් නම් පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ.

 


නව අදහස දක්වන්න