සමනලී ගායනයට | දිනමිණ

සමනලී ගායනයට

සමනලුන් රෑ පුරා 

නිදන්නේ කොහේ දෝ

වස්සානයේ දිනෙක

සැඟ වෙන්නේ කෙලෙසදෝ

ඔබ නොවේ..... ඔබ නොවේ

එය අසන්නේ මමයි 

ඔබ නොවේ..... ඔබ නොවේ

එය අසන්නේ මමයි

තටු සිත්තමේ වර්ණ 

සඟවන්නේ රහසක් ද

මලක පෙතිමත ලියූ 

ජීවිතය කවියක්ද

ඔබ නොවේ..... ඔබ නොවේ

එය අසන්නේ මමයි 

ඔබ නොවේ..... ඔබ නොවේ

එය අසන්නේ මමයි

පියාපත් දියකරන් 

දේදුන්න පාටකර

සමනලුන් ආයෙමත්

කොහේ පියඹා යයි ද

ඔබ නොවේ..... ඔබ නොවේ

එය අසන්නේ මමයි 

ඔබ නොවේ..... ඔබ නොවේ

එය අසන්නේ මමයි

ගේයපද - කෞෂල්‍ය කුමාරසිංහ

සංගීතය - රුවන් වල්පොළ

ගායනය - සමනලී ෆොන්සේකා

[[{"type":"media","view_mode":"media_original","fid":"11639","attributes":{"alt":"","class":"media-image","typeof":"foaf:Image"}}]]

සමනලී ෆොන්සේකාව මේ වනවිට ඔබ හඳුනන්නේ අපට සිටින දක්ෂ තරුණ රංගන ශිල්පිනියක ලෙස ය. එහෙත් පසුගිය දිනෙක අන්තර්ජාලයෙන් අපි ඇගේ මියුරු ගැඹුරු ස්වරය ගීතයක් ඔස්සේ රස වින්ඳෙමු. වර්තමානයේ ඇසෙන ස්වරවලට වඩා එහා ගිය ස්වර පරාසයක රැඳී ඇති ඇගේ ස්වරය ඇය දක්ෂ ගයන්නියක් වග අපට සිහිපත් කරයි. ඈ නියුතු මේ අලුත්ම කටයුත්ත පිළිබඳව සමනලීගෙන් අපි මෙසේ විමසුවෙමු.

 

රඟන්නට පමණක් නොවෙයි ගයන්නට ද හැකියාවක් තියෙන වග ඔබ ‘සමනලුන් රූ පුරා’ ගීතය ගැයීමෙන් අපට ඔප්පු කළා ?

මෙහෙමයි. මම වෘත්තිය ගායිකාවක් නොවෙයි කියලා මුලින්ම කියන්න ඕනෑ. රුවන් වල්පොළ කියන මගේ මිතුරා තමයි මේ ගීතය මට මුලින්ම ගයන්න කියන්නේ. “ඔයා විවිධ ප්‍රසංගවලදි ලස්සනට ගීත ගයන නිසා මේ ගීතය ගයමු කියලා” ඔහු මට කිව්වා. මේ ගීතය ලිව්වේ කෞෂල්‍ය කුමාරසිංහයි. හැබැයි මේ ගීතය ගැයුව කියලා මම ගායිකාවක් නම් එහෙම නොවෙයි.

ඉදිරියට ගීත කිහිපයක් කරන්න එහෙම අදහසක් නැද්ද ?

දැනට එහෙම නම් අදහසක් නැහැ. එහෙත් මගේ යාළුවෙක් කිව්ව මේ ගීතයට රූප රචනයක් කරමු කියලා. සමහර විට එහෙම දෙයක් ඉදිරියේදි සිදුවේවි. මගේ වෘත්තිය විදියට මා සලකන්නේ රංගනයයි. එහි මා නිරත වන්නේ වෘත්තිය මට්ටමින්. සින්දු කියන්න පුළුවන් වුණු එක මගේ එක් හැකියාවක් පමණයි. එහෙම කියලා ලොකුවට එහි නියැළෙන්න බලාපොරොත්තුවක් මගේ සිතේ නැහැ.

මේ ගීතයට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ගොඩක් ප්‍රතිචාර තියෙනවා. හුඟක් අය ඒ ගීතයට කැමැතියි. ගොඩක් කාලෙකින් ඇහුව හොඳ සින්දුවක් කියලා කියනවා. ඔවුන් තනුවට, පදවලට, කටහඬට කැමැතියි කියලා කියනවා. මම ආසම ගායිකාව නන්දා මාලිනිය. සමහරු මේ ගීතය එතුමියගේ ගීතයක් වගේ කියලත් කියන අවස්ථා තිබෙනවා. මේ කොහොම වුණත් මා මේ ලැබුව අත්දැකීම අපේ යහළුවෝ එකතු වෙලා කියන සින්දුවකට එහා ගිය අත්දැකීමක් නොවේ යැයි කියලත් මම කිව යුතුයි. ඒ වගේම මේ ගීතය වෘත්තිය මට්ටමේ ගායනයක් සහ සින්දුවක් කියලා මම සලකන්නේ නැහැ කියන දෙයත් නැවතත් කියන්න ඕනෑ.

නමුත් අද වනවිට සිනමාවේ ගයමින්, රංගනයේ යෙදෙන්න හැකියාව තියෙන අය ඇත්තේ නැති තරම්. එහෙම කාලයක මේ දක්ෂතාව ඒ තරමටම ගණනකට නොගත්තත් ඒ ඔබට ලැබුණු සුවිශේෂී හැකියාවක් නේද?

මම හිතන්නේ දැන් ඉන්න ගොඩක් ළමයින්ට සින්දු කියන්න පුළුවන්. අලුත් ළමයින්ට සින්දු කියන්න පුළුවන්. ඒ දක්ෂතාව කලඑළි බසින්නේ මම පාවිච්චි කරන විදිය අනුවයි. වේදිකාව වගේ එකකට කටහඬ හොඳට තියෙන එක, සින්දු කියන්න පුළුවන් කියන එක ගොඩක් වටිනවා. මුල් කාලීනව මම වේදිකාවේ රඟපෑවා. ඒ ආභාසයත් මීට බලපාන්න ඇතැයි මා සිතනවා. කලාකරුවෙක් වුණාට පස්සේ හැම දෙයක්ම සම්බන්ධයෙන් සංවේදී විය යුතුයි.

කවුරු හෝ අධ්‍යක්ෂවරයෙක් ගායනය කරමින් රංගනයේ යෙදෙන චරිතයක් රඟපෑම සඳහා ආරාධනා කළොත් ඔබ ඒ චරිතය භාර ගන්නවද?

ඔව්. ඒ අය මාව මෙහෙයවයි නේ.

පුංචි කාලයේ ඉඳලම ද ඔබ ගයන්නේ ?

ඒ කාලයේ නටනවා, සින්දු කියනවා. පුංචි ළමයෙක් වගේයි හිටියේ. ඉස්කෝලයේදිත් මම කළේ මියුසික්. ඩාර්මා. ඒ ආභාසය තමයි තියෙන්නේ. හැකියාව කියන එක උපතින් ගෙනෙන එකක් කියලා මා විශ්වාස කරන්නේ නැහැ. ඒක කොහෙත්ම ආත්මයෙන් ගෙනෙන දෙයක් කියලා මා විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම මම විශ්වාස කරන්නේ මේ ජීවිත කාලය විතරයි. නැවත ඉපදෙනවා කියලාවත් මා විශ්වාස කරන්නේ නැහැ. මම හිතන්නේ ඕනෑම කෙනෙකු තමන් යම් දෙයකට ආශා කරනවා නම් ඒ දෙය පුරුදු පුහුණු කළ යුතුයි. ඒ දෙය හැදෑරිය යුතුයි.

ඔබට කවුරුන් හෝ ගයන්නැයි ආරාධනා කළොත් ඔබ ගයන්නේ නන්දා මාලනියන්ගේ ගීත ද?

මම ආසයි ඇගේ ගීතවලට. ඇගේ ගීත බොහොම අවංකයි. ඇය විවෘතව කටහඬ එළියට දෙන කෙනෙක්. ඇය හංගගෙන වෙන අමුතු ගෑනුකමක් රැක ගන්න හදන කෙනෙක් නොවෙයි. අවංක ආත්මයෙන් ගීත ගයන කෙනෙක්. ඇය නිකන්ම නිකන් ගායිකාවක් නොවෙයි. දර්ශනයක් එක්ක, සමාජීය විඥානයක් එක්ක ගීත ගායනා කළ කාන්තාවක්. ඒ නිසා ඇයගේ ගීතවලට මම කැමැතියි.

ඇයට අමතරව ඔබ වඩාත් ප්‍රිය කරන ගායක - ගායිකාවන් කවුරුන් ද?

නිළි රැජන රුක්මණී දේවි, මාලනී බුලත්සිංහල, වික්ටර් රත්නායක, අයිවෝ ඩෙනිස් ආදී ගායක ගායිකාවන්ට මම කැමැතියි. මෑත කාලින අයගෙන් උමාරියාට මම කැමැතියි.

ඉදිරියේදි සංගීතය හදාරන්න අදහසක් තියෙනවද ?

ඇත්තටම මින් ඉදිරියටත් මා ගීත ගයන්න හිතාගෙන ඉන්නවා නම් සංගීතය හැදෑරිය යුතුයි. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. එහෙම හිතාගෙන නැති නිසා ඒක අවශ්‍ය වෙයි කියලා මා සිතන්නේ නැහැ. රංගනයටයි මම මූලික තැන දිලා තියෙන්නේ. හැබැයි යම් චරිතයකට ගායනය හෝ සංගීතය අවශ්‍ය වුණොත් එතැනදි ඒ අභියෝගය භාර ගන්න මම කැමැති කෙනෙක්.

අද සිටින සමහර ගායක - ගායිකාවන්ට තාක්ෂණය භාවිත කරමින් ගැයූ ගීතය ඒ අයුරෙන්ම සජීවීව ගයන්නට නොහැකියි. ඔබ එතැනින් වෙනස් ද?

මට එහෙම ප්‍රශ්නයක් නැහැ.

ගීතය ලියූ පදරචකයා ගැන ඔබගේ සිතේ තියෙන්නේ මොනවගේ අදහසක් ද?

කෞෂල්‍ය කුමාරසිංහ මගේ පොඩි කාලයේ පටන් හොඳම යාළුවා. අදටත් එහෙමමයි. අපේ මිත්‍රකමට වසර විස්සක්. ඔහු තමයි ‘කවුළු පියන්පත්’ ගීතය ලියලා තියෙන්නෙත්. ඒ වගේම ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. ඔහුට හිතෙන්න ඇති මේ ගීතය ලියලා ඉවර වුණාට පස්සේ මට සුදුසුයි කියලා.

මේ ගීතය ඇතුළේ සැඟවුණු කතාවක් තියෙනවද?

මම හිතන්නේ නෑ. නිකම්ම නිකම් නොවෙයි කෙනෙක්ට වැඩිදුර හිතන්න පුළුවන්, එක එක විදියට හිතන්න පුළුවන්, පරිකල්පනය කරන්න පුළුවන් වචන ටිකක් මේ ගීතයේ තියෙනවා. ප්‍රේමවන්තයන් දෙදෙනෙක් ළඟදි පෙම්වතාට පෙම්වතියව කොයිතරම් තේරෙනවාද කියන එකයි මේ ගීතයේ තියෙන්නේ. පෙම්වතියට ඔහුගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා. බොහෝ වෙලාවට පුංචියි කියලා හිතන දේවල් ඇයට ලොකු දේවල් වෙන්නත් පුළුවන්. මේ දෙන්නාගේ චින්තනය වැඩ කරන්නේ කොහොමද? ඒ අවබෝධය කොයිවගේ තැනකින්ද එන්නේ කියන එක පිළිබඳ බොහොම ලස්සනට පරිසරයත් සමඟ සම්බන්ධ කරමින් ගීපද රචකයා ඉදිරිපත් කරනවා.

මේ ගීතයේ සංගීත ශිල්පියා ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවද?

රුවන් කියන්නේ දක්ෂ සංගීතඥයෙක්. ‘අහන් ඉන්න වගේ ගීතයක තනුව යොදලා තියෙන්නේ ඔහුයි. ඔහු මගේ රේන්ජ් එක හඳුනාගෙන ගීතය නිර්මාණය කරලා තියෙනවා කියලා හිතනවා.


නව අදහස දක්වන්න