ශ්‍රී ලංකන් ගුවන් සමාගම අංක එකට | දිනමිණ


 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම අංක එකට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය දා සිංගප්පූරුවේ දී පැවැත් වූ 2015 Future Travel Experience Asia සම්මාන උළෙලේ දී මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම සමස්ත සේවා සපයන ගුවන් සේවය බවට සම්මානයෙන් පිදුම් ලැබීය.

මේ සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ගුවන් සේවා 5ක් සම්මානයට පාත්‍ර විය. මෙම සමස්ත සේවා අංශය සඳහා සම්මානයට පාත්‍ර වූ අනෙකුත් ගෝලීය ගුවන් සේවා වූයේ සිංගප්පූරු ගුවන් සේවය, කැතේ පැසිෆික්, එයාර් නිව්සීලන්ඩ් සහ කටාර් එයාර්ලයින්ස්ය.

2015 Future Travel Experience Asia සම්මාන උළෙලේ දී ආසියාවේ පාරිභෝගික හිතකර ගුවන් සේවා සහ ගුවන් තොටුපළවල් ඇගයීමට ලක් කළ අතර ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් ඔස්සේ ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබීය.

සමස්ත සේවා ගුවන් සේවා තෝරා ගැනිම සඳහා නිෂ්පාදන සහ සේවා රැසක් සැලකිල්ලට ගත් අතර එනම් ව්‍යාපාර පන්තිය, පිරිමැසුම් පන්තිය ඇතුළු අනෙකුත් ගුවන් පන්ති, දිගු දුර ගුවන් ගමන්, කෙටි දුර ගුවන් ගමන්, ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති, ගුවන් මැදිරි සේවා, සුවපහසුව, ආහාරපාන, සේවාවේ ස්ථිරභාවය සහ සමස්ත ගුවන් මගී අත්දැකිම් මේ සඳහා විනිශ්චයට භාජනය විය.

මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කලාපයේ රටවල් 15ක් ඇතුළු නැගෙනහිර බංගලාදේශයේ සිට බටහිර බෙලාරස් සහ ආමේනියා දක්වා විහිදෙන පුළුල් පරාසයක් ඔස්සේ තරග කර ඇත.

මෙම සම්මාන උළෙල පැවැත්වූයේ ආසියාවේ විශාලතම සංචාරක අත්දැකීම් වෙළෙඳ උළෙල වන 2015 Future Travel Experience Asia Expo පැවැත්වෙන කාලයේ දී වන අතර එය සිංගප්පූරු‍වේ එක්ස්පෝ ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී නොවැම්බර් මස 17 සහ 19 දිනයන් හි පැවැත්වීය. මේ සඳහා ලෝකය පුරා සිටින ජ්‍යෙෂ්ඨ සංචාරක වෘත්තීකයන් 1000කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් 47 ගමනාන්ත 99ක් දක්වා ගුවන් ගමන් සිදු කරන අතර කොළඹ සිට යුරෝපය, මැදපෙරදිග, සහ ආසියා ශාන්තිකර කලාපය වෙත සෘජු ගුවන් ගමන් සිදු කරයි. එහි එයාර්බස් ගුවන් යානා සතුව අති නවීන විනෝදාස්වාදක පද්ධති, සුඛෝපභෝගී ආසන සහ ගුවනේ දී ලබාදෙන ප්‍රණිත ආහාරපාන තුළින් ගුවන් මගීන්ට සුවපහසු ගුවන් ගමනක් ලබා දේ.

නව අදහස දක්වන්න