වසා තිබූ චෙන්නායි පාසල් යළි අරී | දිනමිණ

වසා තිබූ චෙන්නායි පාසල් යළි අරී

 ඒ. එෆ්. පී.

නොකඩවා මාසයක පමණ කාලයක් වර්ෂාව ඇදවැටීම නිසා අවුල්වූ චෙන්නායි හි ජන ජීවිතය ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබේ. එහි එක් පියවරක් වශයෙන් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මේ සතිය තුළ සිදුවිය.

අයහපත් කාලගුණය හේතුවෙන් නොවැම්බර් 12 වැනිදා චෙන්නායි සහ අවට දිස්ත්‍රික්ක තුළ පිහිටි පාසල් වසාදැමිණ. ගංවතුර නිසා ජීවිත 280ක් පමණ අහිමි වූ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ සියලු එදිනෙදා කටයුතු ඇන හිටියේ ය. චෙන්නායි ගුවන් තොටුපොළ පුරා දින 06ක් වසා තැබුණි.

පාසල්වල වාර අවසාන විභාග මෙන්ම චෙන්නායි විශ්වවිද්‍යාලයේ විභාග ද දින නියමකින් තොරව කල්දැමීමට සිදුවිය. පසුගිය සතියේ වාර්තා වූ අන්දමට ගංවතුර බැස යාමෙන් පසු මුහුණදෙන විශාලතම ගැටලුව වූයේ කැළිකසළ ඉවත් කිරීමයි. ඒ සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව පාලනාධිකාරිය පැවසීය.

මේ අතර මෙවර ඇදහැලුණු වර්ෂාව තමිල්නාඩුවට සියවසක් තුළ ලැබුණු ධාරාණිපාතම වර්ෂාව බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මිහිතලය රත්වීම මෙයට බලපෑ ‍ප්‍රධාන හේතුව ලෙස විශේෂඥයෝ මත පළ කරති.

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල සියලු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති ඒවා බව තමිල්නාඩුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ නගර සංවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. ඒවායෙහි ඇති අවසර නොලත් ඉදිකිරීම් වහාම ඉවත් නොකළහොත් ඉදිරියේදී මීටත් වඩා දරුණු තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කරයි.


නව අදහස දක්වන්න