වියදමට දෙන මුදල් එකතු කර නත්තල් තෑගි ගත් දැරිය | දිනමිණ

වියදමට දෙන මුදල් එකතු කර නත්තල් තෑගි ගත් දැරිය

තමන්ට දිනපතා වියදමට ලබාදෙන මුදල් එකතු කර රෝගී ළමයින් වෙනුවෙන් නත්තල් තෑගි මිලට ගැනීමට අට හැවිරිදි දැරියක් කටයුතු කර තිබේ. තෑගි සඳහා ලබාගත් සෙල්ලම් භාණ්ඩවලට අවශ්‍ය බැටරි පවා ඇය මිලදීගෙන ඇත. මයිසි හයිමර්ස් නම් මේ දැරිය වසර පුරා එකතු කර ගත් මුදල ඩොලර් 400කි. එයින් නත්තල් තෑගි මිලට ගැනීමට ඇයට හැකි විය. ඇය එම තෑගි සියල්ල රැගෙන පෝට්ස්මවුත් හි ක්වීන් ඇලෙක්සැන්ඩ්‍රියා රෝහල වෙත ගියාය. ඇය ද එම රෝහලේ කාලයක් ගත කළ අයුරු සිහිපත් කරන්නට ද ඇය අමතක නොකළාය.

ඇය රෝහල්ගතව සිටියේ ඇගේ අතක් කැඩී යාම හේතුවෙනි. රෝහල් ගතව සිටින විට කිසිවෙක් තෑගි නොගෙනෙන බව දුටු මයිසිට මේ අදහස පහළ වන්නේ ද ඒ රෝහලේදීමය. එතැන් පටන් ඇයට දෛනික වියදම සඳහා ලබා දෙන සුළු මුදල පවා වියදම් නොකර එක්කාසු කිරීමට ඇය පෙළඹුණාය.

ලබන වසරේ මෙවර වඩා මුදලක් එකතු කර ගන්නට ඈ දැනටමත් තීරණය කර හමාර නමුත්, ලබන වසරේ සිදුකරන්නේ කුමන සත්ක්‍රියාවදැයි තවමත් තීරණය කර නැත. මෙවර මයිසිගේ නත්තල් සත්කාරයට එක සිතින් සහයෝගය ලබා දුන් මවත්, පියාත්, ඇගේ අදහස පිළිබඳ වඩාත් සතුටු වෙති. මින් ඉදිරි‍යට ඔවුන්ගේ මුදල ආධාර ද මයිසිගේ නත්තල් සත්කාරක වැඩසටහනට යොදවන බව මවුපියන් පමණක් නොව නෑදෑ හිතවතුන් ද පවසා තිබේ. 

ඒ. එෆ්. පී.


නව අදහස දක්වන්න