නාය යෑමෙන් කම්හල් 30ක් වැළලෙයි | දිනමිණ

නාය යෑමෙන් කම්හල් 30ක් වැළලෙයි

ඒ.එෆ්.පි

දකුණු දිග චීනයේ කර්මාන්ත කලාපයක් හරහා සිදු වූ නාය යාමක් නිසා ගොඩනැගිලි 30කට වඩා වැඩි ප්‍රමාණයක් වැළලී ගොස් ඇති බව වාර්තා වේ. ඒ අතර 91 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් අතුරුදන් වී ඇත. ගෑස් නල පිපිරීමක්ද සිදුව ඇති බව ද චීන මාධ්‍ය වාර්තා කරයි.

රතු පස් හා මඩ අති විශාල ප්‍රමාණයක් ෂෙන්සන් නගරයේ කර්මාන්ත පුරය යට කළ අයුරු සහ බලා සිටිද්දී නිවාස හා කර්මාන්ත ශාලා ඉන් යට වී යන අයුරු දැක්වෙන පටිගත කරන ලද රූප රාමු අන්තර්ජාලයට ද නිකුත් කර ඇත.

ඉඩම් හා සම්පත් අමාත්‍යාංශයේ නිල පුවත්පතට අනුව ඉදිකිරීම් කලාපවලින් නිසි ලෙස ඉවත් නොකරන ලද පස් නිසා සිදුවූ නාය යාමක් ලෙස මෙය හඳුන්වා දී ඇත. එම පස් මීටර් සියයක් (අඩි 330ක්) පමණ උසට නීත්‍යානුකූල නොවන ලෙස පැරණි පතලක ගබඩා කර ඇත.

ඇදහැලුණු මහ වර්ෂාපතනය නිසා ඒවා මඩ බවට පත් වී ඇත. ඇතිවූ හදිසි තත්ත්වය වෙනුවෙන් හදිසි සේවකයන් 1500ක් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා යොමු කර ඇති අතර ගිනි නිවන රථ 104ක්ද යොදවා ඇත. මෙම තත්ත්වයට අක්කර 25ක් පමණ බිම් ප්‍රමාණයකට මුහුණදීමට සිදු වී ඇත. 900ක් පමණ දෙනා අනතුරට පත්වීමට පෙර ඉවත් කර ඇති අතර හතරදෙනකු බේරාගෙන තිබේ. තිදෙනකු සුළු තුවාල ලබා ඇත.


නව අදහස දක්වන්න