අපමණ මිනිසුන්ගේ අපමණ සුසුම් සඟවා ගත් සුනාමිය | දිනමිණ

අපමණ මිනිසුන්ගේ අපමණ සුසුම් සඟවා ගත් සුනාමිය

මේ අවුරුද්දෙ දෙසැම්බර් 26 වෙනකොට සුනාමියට අවුරුදු 11ක් පිරෙනවා. සුනාමිය පිළිබඳ මතකය අපි කාගෙත් සිත්වලින් ටිකෙන් ටික මැකී යමින් තියෙන නිසා මට හිතුණා ඒ ගැන යළිත් සිහි කැඳවිමක් කළොත් හොඳයි කියලා. පහු ගිය දවසක පුවත් පත් සාකච්ඡාවකදී නැ‍ඟෙනහිර පළාත භාර ජෝසප් පොන්නයියා රදගුරුතුමා දක්වා තිබූ කරුණුත් මේ සටහන ලියන්න මා තුළ ලොකු පෙළඹීමක් ඇති කළ බව උන්වහන්සේට ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුයි.

විශේෂයෙන්ම රදගුරුතුමා කරුණු දක්වා තිබුණේ සුනාමියෙන් වගේම යුද්ධයෙනුත් බැට කාපු නැඟෙනහිර පළාතේ ජනයා අදත් විඳින අපමණ දුක්ගැහැට පිළිබඳවයි. එතුමා පෙන්වාදෙන කරුණු කාරණ වලට පිවිසෙන්න කලින් මම කැමතියි සුනාමියෙන් අපේ රටට වුණු බරපතළ විපත ගැන මතකය ටිකක් අවදි කරගන්න. සංඛ්‍යා ලේඛන දක්වන විදිහට අපේ රටට සුනාමියෙන් වුණ ජීවිත හානිය පමණක් 30196ක් වෙනවා. ඒ වගේම ලක්ෂ 15ක පමණ ජනතාවකට උන්හිටි තැන් අහිමි වුණා. දකුණේ ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණු ජීවිත හානිය 4000ක් වන විට නැගෙනහිර අම්පාර දිස්ති‍්‍රක්කයේ මරණ සංඛ්‍යාව 5000 ඉක්මවූ බවයි වාර්තාවල දැක්වෙන්නේ. සුනාමි ඛේදවාචකයේ ලොවම කම්පා කළ තවත් විශේෂ සිද්ධියක් වෙන්නේ තෙල්වත්තේදී රුහුණු කුමාරිට අත් වූ දුක්මුසු ඉරණමයි. චණ්ඩ සුනාමි රැල්ලට රුහුණු කුමාරි බිලි වෙන අවස්ථාවේ එහි 1700ක පමණ පිරිසක් සිට තිබෙනවා.

දකුණ නැ‍ඟෙනහිර හැරුණහම උතුරේ මුලතිව් හා වඩමාරච්චි ප්‍රදේශත් සුනාමියේ දරුණු ප්‍රහාරයට ලක් වුණා. උතුරුකරයේ විවෘත තැනිතලා භූමියේ කිලෝමීටර් දෙකක් විතර දුරට සුනාමි රැළ ගමන් කර තිබුණේ අහිංසක ජීවිත දහසක් පමණ හා ඔවුන්ගේ කෙත්වතු එළු ගව සම්පත් සියල්ල පැහැර ගනිමින්. යුද ගැටුම් උග්‍රව පැවති ඒ සමයේ ප්‍රභාකරන්ගේ බළකොටුව හැටියට ප්‍රසිද්ධ වෙලා තිබුණෙත් සුනාමියෙන් සෝදාපාලූ වී ගිය වඩමාරච්චි බිම් තීරුවයි. සුනාමි විපත අතරතුරම ප්‍රභාකරන්ගේ විපත ද සිදු වූ බවට ඒ කාලේ රට පුරාම කට කතා පැතිරුණු හැටිත් ඔබට මතක ඇති. ප්‍රභාකරන්ගේ මරණය කෙහොම වුණත් විසි අවුරුද්දක් පුරා ප්‍රභාකරන්ලා වළලා තිබුණු බිම් බෝම්බ දහස් ගණනක් සුනාමිය විසින් උතුරු භූමිය පුරා විසුරුවා හැර තිබීම නම් ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් වුණා.

යුද්ධය හා සුනාමිය දඩමීමා කරගෙන අපේ රට ගිලගන්න මාන බැලූවාය කියා අදත් චෝදනාවට ලක් වන ඉන්දියාව ඇතුළු බටහිර රටවල්වලින් ඒ තීරණාත්මක මෙහොතේ ලැබුණු මානුෂික හා ද්‍රව්‍යම ආධාර නොවන්නට පශ්චාත් සුනාමි උවදුර මීටත් වඩා බරපතළ වෙන්න තිබුණු බවත් බොරු දේශපේ‍්‍රමීන්ට මතක් කර දෙන්න ඕනා. විපත සිදු වෙලා පැය කීපයක් ඇතුළත මුල්ම මානුෂීය ආධාරය ලැබුණේ අපේ ළඟම ඥාතියා වන ඉන්දියාවෙන්. ඉන්දියාවෙත් දකුණු ප්‍රදේශය සුනාමියෙන් දරුණු විදිහට විනාශ වෙලා තිබුණත් වෛද්‍යවරුන් ප්‍රමුඛ 1000ක නාවික හමුදා බළ ඇණියක් හෙලිකොප්ටර් හා කුඩා ගුවන් යානාද පටවාගත් නැව් කිහිපයකින් දිවයිනට ගොඩබැස්සා. බිම් බෝම්බ උවදුරට විසඳුම් සොයන්න මුල්ම විශේෂඥ කණ්ඩායම අවේ නෝවේජියාවෙන්. ඒත් එක්කම කැනේඩියාව ජල පිරිපහදු යන්ත‍්‍ර හතරකුත් සමග 150කින් සමන්විත වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායමක් එව්වා. ඉරකයේ මැතිවරණයට උදව් කරන්න දියාගෝ ගාර්සියවේ සිට එදෙසට යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු නාවික බළඇණියක් අමෙරිකන් රජයෙන් ලද නියෝගයෙන් වහාම ලංකාව දෙසට හැරුණා. ඒ විතරක් නෙමේ ක්‍රිකට් නිසා අපට වඩාත් සමීප වෙලා ඉන්න ඕස්ට්‍රේලියා, එංගලන්ත, දකුණු අප්‍රිකා හා බංගලි ක්‍රිකට් කණ්ඩායම් මානුෂිය ආධාර එකතු කරන ව්‍යාපාරයක් දියත් කළා. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම විශේෂ එක්දින තරග දෙකක් ලංකාව වෙනුවෙන් පැවැත්තුවා.

මේ විදිහට ලෝක ප්‍රජාව මනුෂ්‍යත්වයේ අත් අප වෙත දිගු කරන විට පාට පක්ෂ ජාති ආගම් බේද පසෙකලා අත්වැල් බැඳගන්න අපටත් බලකෙරුණා. සියලු දේශපාලන පක්ෂ විහාරමහා දේවි උයනට එක් වෙලා සමගි වෙලා රට ගොඩනඟන්න ප්‍රතිඳාවක් දුන්න හැටිත් ඔබට මතක ඇති. ඒත් ඒ සියල්ල ඉක්මනටම අපිට අමතක වෙලා ගියා. රට ඇතුළේ රණ්ඩුසරුවල් ආයෙත් පටන්ගත්තා. ලෝක බලවතුන් එක්ක අමනාප වුණා. වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් බවට පත් කරගන්න හොඳටම ඉඩ තිබුණු සුනාමිය රට තවත් අගාධයට ඇද දමන සාපයක් බවට පත් කරගත්තේ අපිම නෙමේද?

අපි ආයෙමත් ජෝසප් පොන්නයියා නැ‍ඟෙනහිර රදගුරුතුමා අද පවසන දේට සවන් දෙමු. සුනාමියෙන් අවුරුදු 11කට හා යුද්ධයෙන් අවුරුදු 6කට විතර පස්සේ අපේ රට කොතනද ඉන්නේ කියා උන්වහන්සේ අපූරුවට පෙන්වා දෙනවා.

" මේ ප්‍රදේශවලට වැඩියෙන්ම බලපෑවේ යුද්ධය. ඒ වගේම සුනාමි ව්‍යසනය. අනිත් පැත්තෙන් ගංවතුර වගේ ස්වාභාවික ව්‍යසන. කාලයක් තිස්සේ සිදු වුණ ජීවිත අහිමිවීම් නිසා මාපියන් නැති දරුවන්, දරුවන් නැති මාපියන් වගේම වැන්දඹුවන් විශාල ප්‍රමාණයකට තම සැමියන් අහිමි වූයේ මේ යුද්ධයෙන්. දෙසැම්බර් 26වෙනිදාට සුනාමිය සම්බන්ධයෙන් කරන සැමරුමට ආවොත් බලන්න පුළුවන් කොපමණ මිනිසුන් ප්‍රමාණයක් කොපමණ වේදනාවක් විඳිනවද කියලා?”

මේ කනගාටුදායක ඉරණම නැ‍ඟෙනහිර පළාතට විතරක් සීමා වී තිබෙනවාය කියා නොසිතිය යුතුයි. උතුරේ හා දකුණේත් විපරම් කර බැලූවොත් මීට බෙහෝදුරට සමාන දුක්ගැනවිලි අහන්න ඉඩ ලැබේවි. සුනාමි විපතට තවත් අවුරුද්දක් සපිරෙන මේ කාලයේ තවමත් දුක් සුසුම් හෙලන අපේම සහෝදර ජනතාව ගැන නැවත සොයා බලන්න මෛත්‍රී සිතක් පහළ වුණොත් හොඳයි නේද?

කමල් පෙරේරා

[email protected]

නව අදහස දක්වන්න