පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 26ක් මරුට | දිනමිණ

පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 26ක් මරුට

පාකිස්තානයේ මර්දන් ප්‍රදේශයේ රජයේ කාර්යාලයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 26 දෙනෙකු මිය ගොස් තිබේ. මර්දාන් හි ජාතික දත්ත සහ ලියාපදිංචි අධිකාරි කාර්යාල පරිශ්‍රයේදී මෙම ප්‍රහාරය සිදු වී ඇතැයි වාර්තා වේ. මෙම අනතුරින් 60 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. පකිස්තාන තලේබානුවන් විසින් සිදු කරන්නට ඇතැයි සැලකෙන මෙම ප්‍රහාරය සඳහා කිලෝග්‍රෑම් 12ක පමණ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හෙළිදරව්වී තිබේ. පසුගිය දෙසැම්බරයේ පෙශාවර් හිදී සිසුන් හා ගුරුවරුන් 150ක් පමණ මරුමුවට පත් කරමින් සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට පසු මෙතරම් පිරිසක් අනතුරට පත් ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් ය.

මරාගෙන මැරෙන බෝම්බකරු යතුරු පැදියකින් පැමිණ ඇති අතර නද්‍රා ගොඩනැගිල්ලට ඇතුල්වීමට සූදානම් වූ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව නවතා ඇත. එසැනින් ඔහු පුපුරවා ගත් බව සාක්ෂිකරුවෝ පවසති. මෙම ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූවන්ගේ වැඩි පිරිසක් සාමාන්‍ය ජනතාව බව වාර්තා වේ. බචා චාන් සෞඛ්‍යය සංකීර්ණය වෙත මළ සිරුරු 16ක් ලැබී ඇති බවද තුවාල කරුවන් රැසක් භාර ගත් බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඒ.එෆ්.පී


නව අදහස දක්වන්න