ඈ තවමත් මිහිරි සරින් ගයන්නී ය | දිනමිණ

ඈ තවමත් මිහිරි සරින් ගයන්නී ය

චන්ද්‍රා බණ්ඩාර

අම්මා දැන් ජීවිතයේ අසූහතරවන විය පසු කර සිටී. ඒ අනුව අම්මාට අවුරුදු අසූපස්වන විය ලබා ඇත. අම්මා තවමත් නිරෝගි ය. ඇය අනුනට බරක් නො වී තවමත් සිය කටයුතු කර ගන්නී ය. සිය අත් බණුවෙන් නිවැරදිව අංක තෝරා බේරා ගනිමින් ඇය දරුවන්ට, ස්වකීයයන්ට ඇමතුම් ලබා ගන්නී ය. “අම්මා...” මම මා අබියස අසුන් ගෙන සිටින ඇය අමතා කතා කළෙමි.

“අම්මා විතරක් නෙවෙයි පුතා. මම දැන් අත්තම්මා. ඒ විතරක් නෙවෙයි මම අද මුත්තම්මා කෙනෙක්.” අම්මා කියන්නේ මුව පුරා හිනැහෙමිනි.

“මට දරුවෝ නව දෙනෙක්. පුත්තු පස් දෙනයි. දූල හතරදෙනයි. ඒ නව දෙනාගෙන් මට මුනුපුරු මිනිපිරියෝ දාහත් දෙනයි. මී මුනුපුරන් දෙන්නයි. මී මිනිපිරියයි.” අම්මා කියන්නී ඉමහත් ආඩම්බරයකිනි. ඇය වියපත් ජීවිතයක අපරිමිත සොම්නස භුක්ති විඳින්නී ය.

අම්මා මා ඉදිරිපිට ඇය වාඩි වී සිටින පුටුවේ හිඳ ගීයක මුල් පද මිහිරි සරින් ගයන්නී ය.

‘හද ගී පොතේ පිටුවක් ඉරා

ලියා එවමි ආදරේ...

සඳ ඉර හා තරු එළියේ

බලමු ලියන ආදරේ...’

ඒ ගීය ගුවන් විදුලි සරල ගී ගායිකාවක සේ 1972 අවුරුද්දේ අම්මා විසින් ගයන ලද ගීයකි. එදා අම්මා සමඟ මෙම ගීය ගායනා කළේ ගායන ශිල්පි ‘ෆීලික්ස් ඇන්ටන්’ ය. ගීයේ පද රචනය ‘ප්‍රේමකීර්ති ද අල්විස්’ ගෙනි. සංගීතවත් කළේ අම්මාගේ ම බාල මලණුවන් වන ‘ප්‍රේමනාත් කොඩිතුවක්කු’ ය.

“ මේ ගීතය ගායනා කරන්න නියමිතව තිබුණේ වෙනත් ප්‍රවීණ ගායන ශිල්පියකු සමඟ. ඒත් එදා එයා මැදිරියට ඇවිත් හිටියෙ නෑ. ෆීලික්ස් ඇන්ටන් මා සමඟ මේ ගීතය ගායනා කරන්න එකඟ වුණා. ” අම්මා අවුරුදු හතළිස් තුනකටත් එපිට අතීතයේ දී වූ ගුවන් විදුලි මැදිරියක පටිගත කිරීමක් සිහිපත් කළා ය.

අපේ කතා නායිකාව වන අම්මා නමින් ‘චන්ද්‍රා කොඩිතුවක්කු’ වූවා ය. 1950 දී පවුලේ ම හිතවතකු වන ‘රත්නපාල විජේසුන්දර බණ්ඩාර’ සමඟ විවාහ වීමෙන් පසු ඇය ‘වන්ද්‍රා බණ්ඩාර’ වූවා ය. වෘත්තියෙන් ඉංගිරිසි ගුරුවරයකු වූ විජේසුන්දර බණ්ඩාර විශ්‍රාම ලැබීමෙන් පසු 2004 දී මිය ගියේ ය.

චන්ද්‍රා (කොඩිතුවක්කු) බණ්ඩාරගේ පියා එකල ලංකාවේ විසූ ප්‍රවීණ තබ්ලා වාදකයෙකි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ (එකල රජයේ සංගීත විද්‍යාලයේ) තාල වාදනය පිළිබඳ ප්‍රථම කථිකාචාර්යවරයා වූයේ ඔහු ය. ඔහු මරණය ද අපූර්ව වූවකි. ගුවන් විදුලි සංස්ථාවේ තබ්ලා වාදනයේ යෙදෙන අතරතුරේ සිදු වූ හෘදයාබාධයකින් ඔහු මැදිරිය තුළ දී අභාවප්‍රාප්ත විය. ඒ 1968 අගෝස්තු 10 වනදා ය. සෝමසිරි ඉලේසිංහ හා ධර්මසේන ගීකියනගේ වයලිනයෙන් හා එස්රාජයෙන් ලෙහෙරා වාදනයේ යෙදෙද්දී කොඩිතුවක්කු මාස්ටර් ගුවන් විදුලියේ පස්වන මැදිරියේ තබ්ලාව වාදනය කළේ ය. පටිගත කිරීම අරඹා විනාඩි තුනක් යන්නටත් මත්තෙන් ඉලේසිංහට හා ගීකියනගේට මාස්ටර්ගේ වාදනයේ වෙනසක් දැනිණි. වාදනය අතරතුරේදී වැටෙන්ට ගිය කොඩිතුවක්කු මාස්ටර් අල්ලා ගන්නට ඉලේසිංහ හා ගීකියනගේ සමත් වුව ද රෝහලට ගෙන යන විටත් ඔහුගේ හදවත සදහට ම නතර ව තිබිණි. ඩී. සී. කොඩිතුවක්කුගේ අවසන් වාදනය ඇතුළත් ඒ විශේෂිත හඬ පටය තවමත් ඉඳහිට ගුවන්විදුලියෙන් අසන්නට ලැබේ.

කෑගල්ල නාගොල්ලේ වාසය කළ චන්ද්‍රා 1935 දී මුලින්ම පාසල් ගියේ කෑගල්ලේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ය. එහිදී ඇගේ ප්‍රමුඛාචාර්යවරයා වූයේ පී. බී. බාලසූරිය මහතා ය. එවකට ප්‍රසිද්ධ ලේඛකයකු වූ බාලසූරිය මහතා පසුව ගලිගමුව මහජන මන්ත්‍රීවරයා ද විය. (පසුගිය රජයේ අමාත්‍යවරයකු වූ ආචාර්ය ජගත් බාලසූරිය, බාලසූරිය මහතාගේ පුත්‍රයෙකි.) එතැනින් සිංහල ප්‍රාරම්භය සමත් වූ ඇය මහනුවර අම්පිටියේ බෙරඩික්ස් පාසලට ගියේ ඉංගිරිසි ඉගෙන ගන්නට ය.

ඒ වකවානුවේ බෞද්ධ ප්‍රබෝධය යටතේ කෑගල්ලේ බෞද්ධ ඉංගිරිසි පාසල් අරඹන්නට කටයුතු කෙරෙමින් තිබිණි. බෞද්ධ පිරිමි ඉංගිරිසි පාසලක් සේ කෑගලු විද්‍යාලය ආරම්භ කරන්නට මුදල් සම්පාදනය කිරීමේ කටයුතුවලදී සල්පිල් උත්සව ආදියේ විරිදු ගායනා කරන්නට බාලසූරිය මහතා යොදා ගත්තේ අපේ කතා නායිකාව ය. කෑගලු විදුහල අරඹා ටික කලකින් ගැහැනු ළමයින්ට කෑගලු බාලිකාව ඇරඹිණි. චන්ද්‍රා බාලිකාවේ මුල් ම ශිෂ්‍යාවන් කණ්ඩායමට එක් වූවා ය. ඈ එහි වසර දෙක හමාරක් උගත්තී ය. කෑගලු බාලිකාවේ මුල් ම ආදි ශිෂ්‍යවන් කණ්ඩායමේ අදටත් ජීවත් ව සිටින සාමාජිකාව ඇය විය හැකි බව ඇගේ දරුවන්ගේ මතයයි.

අම්මා තවමත් ඇය ඉදිරිපිට අසුන් ගෙන සිටින මා හා ඇගේ කතාව කියන්නී ය.

“ අපේ තාත්තගේ ආභාසයෙන් මම සංගීතයට යොමු වුණා. මම 1948 දී විතර තාත්තගෙ ආධාරයෙන් ගුවන් විදුලි වැඩසටහනකට සහභාගී වුණා. මම ගායනා කළේ සරල ශාස්ත්‍රීය ගීයක්. ඒ කාලෙ ගුවන් විදුලිය තිබුණෙ කොළඹ කොටා පාරෙ. ”

(දෙවන ලෝක යුද්ධය නිසා ටොරින්ටන් පෙදෙසේ තිබුණු ගුවන් විදුලිය එතැනින් ඉවත් කරන්නට සිදු වූ බවත්, 1942 සැප්තැම්බර් මාසයේ සිට 1949 ඔක්තෝබර් 5 වන දා දක්වා ගුවන් විදුලිය කොළඹ කොටා පාරේ අංක 75 දරණ බවර් ගොඩනැගිල්ලට ගෙන ගිය බවත් ගුවන් විදුලි ඉතිහාසයේ සඳහන් ය.)

ඉන්පසු චන්ද්‍රා බණ්ඩාර, ශ්‍රී කෘෂ්ණ නාරායන් රතන්ජංකර්’ පඬිතුමා යටතේ පැවැත්වුණු සංගීත ශිල්පීන් වර්ග කිරීමේ පරීක්ෂණයට පෙනී සිටිමින් සරල ගී ගායිකාවක් බවට පත් වූවා ය.

“ඒ කාලෙ මාසයක් ඇර මාසයක් වැඩසටහන් එනවා. ඒවට කෑගල්ලෙ සිට කොළඹ යන්න ඕනෑ. මගේ පියා හා මල්ලි හැරුණු විට එම්. ඩී. චන්ද්‍රපාල, ඩී. ඩී. ඩැනී, වින්සන්ට් පෙරේරා, රොක්සාමි, ස්ටැන්ලි පීරිස් වගේ අය මට උපකාර කළා.”

චන්ද්‍රා බණ්ඩාර මේ සියල්ල කරන්නේ දරුවන් නව දෙනෙකු පාසල් යවමින් සැමියාගේ කටයුතුවලට උර දෙමින් පවුලකට අම්මා කෙනෙක් බිරිඳක් වන අතරතුර දී ය. ඇගේ දරුවෝ ද සංගීතයෙහි නිරත වූහ. තෙවන පුත් මහින්ද බණ්ඩාර ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා වන්නේත්, ගී පටිගත කිරීම් සඳහා ලීඩ් ගිටාරය වයන්නේත් පාසල් යන අතරතුර ය. අද ඔහු දිවයිනේ ප්‍රවීණතම වාදකයෙකි. සංගීතඥයෙකි. සිව්වන පුත් රාජු බණ්ඩාර ප්‍රවීණ ගායකයෙකි. වාදකයෙකි. සංගීතඥයෙකි.

අම්මා තෘප්තිමත් ය. සිය දරුවන්, මුනුපුරු මිනිපිරියන්, මී මුනුපුරු මිනිපිරියන් දෙස බලමින් ඇය සතුටින් දිවි ගෙවයි. ජීවිතයට ඊටත් වඩා අපේක්ෂාවක් තිබිය හැකි ද?

මහානාම දුනුමාල

[email protected]

නව අදහස දක්වන්න