සෞදියේ මරණ දඬුවම හේතුවෙන් මැදපෙරදිග රාජතාන්ත්‍රික සබඳතා උණුසුම් | දිනමිණ

සෞදියේ මරණ දඬුවම හේතුවෙන් මැදපෙරදිග රාජතාන්ත්‍රික සබඳතා උණුසුම්

 නිම්ර් අල් - නිම්ර් නම් ෂියා මුස්ලිම් පූජකයකුව මරා දැමීම පිළිබඳ සෞදි අරාබියට එරෙහිව චෝදනා එල්ල වෙද්දී, සෞදි අරාබියට හිතවත් රටවල් ඉරානයට එරෙහි වෙමින් සිටින බව වාර්තා වේ. මේ මරණ දඬුවම නිසා මැද පෙරදිග කලාප‍ෙය් රාජතාන්ත්‍රික සබඳතා ද දැඩි උණුසුම් ස්වරූපයක් ගෙන තිබේ. මුලින්ම ඉරානය සමඟ රාජතාන්ත්‍රික සබඳතා අත්හිටුවන බවට නිවේදනය කළේ සෞදි අරාබිය විසිනි. අනතුරුව බහරේනය, සුඩානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයද ඉරානය සමඟ රාජතාන්ත්‍රික සබඳතා නවතා දැමීමට හෝ අවප්‍රමාණ කිරීමට කටයුතු කළේය.

සෞදි අරාබිය මේ තීරණයට පෙළඹෙන්නේ ඉරානයේ ටෙහෙරාන්හි පිහිටි සෞදි තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුය. සුන්නි මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන අනෙක් රාජ්‍යයන්ද සෞදි අරාබියට සහය පළ කරමින් ඉරානයට එරෙහි වූයේ ඉන් පසුවය. ඉරානය චෝදනා කරන්නේ ෂියා පූජකවරයාට මරණ දඬුවම ලබාදීම මඟින් සෞදි අරාබිය කලාපීය උණුසුම උත්සන්න කළ බවයි. ටෙහෙරානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්, සෞදි අරාබියේ සිටින ඉරාන රාජතාන්ත්‍රිකයින් වහාම සිය රට කැඳවන බව ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවැසීය.

සෞදි අරාබිය විසින් ඒ සඳහා පැය 48ක කාලයක් ලබාදී ඇති බවත් ඒ කාලය අතරතුර තම රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෞරවනීය ලෙස ගෙන්වා ගැනීමට තානාපති කාර්යාලය, කොන්සල් කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය විසින් අවශ්‍ය කටයුතු සිදුකරන බවද හෙතෙම පැවැසීය. ඔවුන්ගේ ආරක්ෂාව සහිතක කරන බව පැවසූ ඔහු සෞදිය නොසන්සුන් වාතාවරණයක් ඇති කිරීමට උත්සාහ දරන බවට චෝදනා කළේය.

මේ අතර ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර ප්‍රතිචාර පිළිබඳව අවධානය යොමුනොකරන බව සෞදි අධිකරණ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

තවද ඉරාකයේ සුන්නි මුස්ලිම් පල්ලි දෙකකට ප්‍රහාර එල්ල වී ඇති බවත්, සුන්නි ඉමාම්වරයකු මරා ඇති බවත් වාර්තා වන අතර, ෂියා පූජකයාව මරා දැමීමට එරෙහිව මේ ක්‍රියා සිදුවන්නට ඇති බව විශ්වාස කෙරේ. පල්ලිවලට එල්ල වූ ප්‍රහාරවලදීද සුන්නි පූජකවරයකු මිය ගොස් තිබේ.

නව අදහස දක්වන්න