ක්‍රිස් ගේල්ගේ රෙදි ගැලවෙයි | දිනමිණ

ක්‍රිස් ගේල්ගේ රෙදි ගැලවෙයි

ක්‍රිස් ගේල් ආන්දෝලනාත්මක රූපවාහිනී සංවාදය අතරතුරදී

ක්‍රිස් ගේල් යළි පුවත් මවන්නට පටන්ගෙනය. ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස නම් දරා සිටින බටහිර ඉන්දීය කොදෙව් එක්දින හා විස්සයි20 ක්‍රිකට් පිලේ මේ වමත් කසකාරයා මෙවර ආන්දෝලනාත්මක පුවතකට මැදිවූයේ පිත්තෙන් දැක්වූ දස්කම් මත නොව ඔහුගේ විසේකාර ගතිපැවතුම් නිසාය.

එය සිදුවූයේ පසුගියදා ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් විස්සයි20 තරගාවලිය යටතේ හෝබාර්ට් හරිකේන්ස් පිලට එරෙහිව හෝබාර්ට් නුවර පැවැති තරගය අතරතුරදීය. මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිලට ක්‍රීඩා කරන ගේල් ඒ තරගයේ දී පන්දු 21කින් ලකුණු 46ක් රැස් කළේය. අනතුරුව ක්‍රීඩා මණ්ඩපයට යන අතරතුර චැනල් 10 රූපවාහිනී නාලිකවේ ක්‍රීඩා වාර්තාකාරිනිය මෙල් මැක්ලෝලින් සමඟ පැවැති සජීවි කෙටි සංවාදයේ දී ඔහු කළ ප්‍රකාශ ලොව පුරා ඒ මොහොතේ දීම විකාශය වූ අතර එය මහා ආන්දෝලනයකට තුඩු දුන්නේය.

විස්සයි20 ක්‍රිකට් පිටියේ කාගෙත් අවධානය දිනූ ගේල් විවිධ තරගාවලිය අතරතුර මෙසේ රූපවාහිනී සංවාදවලට එක්වීම සුලබ දසුනකි. එමෙන්ම දෙපිට කැපෙන වදන් කියමින් නරඹන්නන් මෙන්ම සිය කණ්ඩායම් සගයන් ද පිනවන්නට ද ඔහු අමතක කරන්නේ නැත. එහෙත් ගේල් එදා රූමත් නිවේදිකාව සමඟ කළ සංවාදය නම් ඇස් රතුවන තරමට දුර දිග ගිය එකකි.

තමා බිග් බෑෂ් තරගාවලියට එක්වූයේ පිත්තෙන් දස්කම් පාන්නට මෙන්ම ඇගේ සුන්දර දෑස් දකින්නට බව පැවැසීමෙන් ඇය දැඩි ලෙස අපහසුතාවට පත්වූවාය. එය දෙගුණ තෙගුණ වූයේ එය සජීවීව විකාශය වූ නිසාය.

‘අපි මේ තරගය දිනනවාමයි. ඊගාවට මට පුළුවනි ඔයා එක්ක ඩ්‍රින්ක් එකකට යන්න...‘ ගේල් එසේ කීමෙන් ඇගේ මුහුණ ලජ්ජාවෙන් රතුවිය. අනතුරුව ගේල් මෙසේ ද කීවේය.

‘ලජ්ජා වෙන්න එපා බබෝ...‘

ඒ මොහොතේ මේ සජීවි සංවාදය ඇසූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ට මෙන්ම එම සංවාදයට එක්වූ චැනල් 10‘ රූපවාහිනී නාලිකවේ ක්‍රීඩා වාර්තාකාරිනිය මෙල් මැක්ලෝලින්ගේ සේවා ආයතනයේ ප්‍රධානින්ට ද අසූහාරදාහට කේන්ති ගියේය. බටහිර සංස්කෘතියට අනුව යම්කිසි කාන්තාවකට රාත්‍රී කෑමවේලකට හෝ මත්පැන් වඩියක් තොලගාන්නට යාමට ආරාධනා කිරීම ලිංගික ඇසුරකට ව්‍යංගාර්ථයෙන් කෙරෙන ඇරියුමකි. එබැවින් එය ඉතා අසංවර ප්‍රකාශයක් බවට ඒ මොහොතේදීම රූපවාහිනි විචාරකයන් දැඩි ලෙස හෙළා දුටු අතර පසු දින ගේල් නියෝජනය කරන මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ බලධාරීන් ඔහුට ඔස්ට්‍රේලියානු ඩොලර් දස දහසක දඩයක් ගැසූහ. එහෙත් සිද්ධිය එතැනින් නිමාවට පත්වූයේ නැත. අන්තිමේදී ගේල්ට සිදු වූයේ මේ අසංවර හැසිරීම නිසා මෙල්ට සිදුවූ අපහසුතාවට ඇගෙන් සමාව ඉල්ලා සිටීමටය.

‘ඒක මං විහිළුවට වගේ කිව්වේ..‘ ගේල් එසේ කියමින් මෙල්ට සිය කනගාටුව පළ කොට සිටියත් අන්තර්ජාලය හරහා මෙන්ම විවිධ පුවත්පත් හරහා ලොව පුරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ගේල්ගේ මේ සිදුවීම දැඩි විවේචනයට ලක් කළහ. එහි ඉදිරියෙන්ම සිටියේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ හිටපු නායක ඉයන් චැපල්ය.

ඔහු කියන්නේ මින් පසු ගේල්ට කිසිම කොන්ත්‍රාත්තුවක් නොදී ඔහුට ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කිරීම තහනම් කළ යුතු බවකි. එමෙන්ම එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් එවැනි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ඉයන් චැපල් පැවැසුවේය. මෙසේ අවිනීත ලෙස ක්‍රීඩා වාර්තාකාරියක ඉදිරියේ හැසිරීම කිසිසේත්ම සමාව දිය හැකි කාරණාවක් නොවන බවත්, ලොව පුරා සියලුම රටවල් ගේල් සමඟ කිසිදු ක්‍රීඩා කොන්ත්‍රාත්තුවකට අස්සන් නොකළ යුතු බවත් චැපල් අවධාරණය කළේ දැඩි කෝපයෙන් යුතුවය. මේ ප්‍රහාරක පිතිකරු බිග් බෑෂ් ඊළඟ තරගාවලියට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර චැපල්ගේ මේ ප්‍රකාශයෙන් දැන් කබලෙන් ලිපට වැටී සිටින බව අමුතුවෙන් කිව යුතු නැත.

කාන්තාවකගේ ආකර්ශනය බලහත්කාරයෙන් ඇද ගැනීමට ගේල් දැරූ නින්දා සහගත උත්සාහය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් බව චැපල්ගේ ප්‍රකාශය අනුමත කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ බොහෝ නිලධාරීන් කියා සිටින්නට වූහ.

ගේල්ට ආපහු මේ රටේ කිසිම ක්‍රීඩා කොන්ත්‍රාත්තුවක් ලැබෙන්නේ නැති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළහොත් ඒ ගැන මම පුදුම වෙන්නේ නෑ. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමෙන් ගේල්ට අපි මොනවද කළ යුත්තේ කියා ඔවුන් අයි.සී.සී.යෙන් විමසා සිටියොත් ඒ ගැනත් මා පුදුම වෙන්නේ නෑ. ක්‍රීඩකයන්ගෙන් මෙවැනි අසංවර ක්‍රියා අප වහා නැවැත්වීමට පියවර ගත යුතුයි‘ ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ඉයන් චැපල් මෙසේ ක්‍රිස් ගේල් පතුරු හැරීමට පටන් ගැනීමත් සමඟ ලොව පුරා සෙසු ක්‍රිකට් ආයතනවලත් අවධානය ඊට යොමුවිය.

‘හොඳයි යාළුවා අපි ඔයාට ඩොලර් දසදහසක දඩයක් ගහනවා. මීට පස්සේ ඔය වගේ වැඩ කරන්න එපා කියලා ගේල්ට කියන එක හරිද මං අහන්නේ.. මේ අසංවර කතාව රූපවාහිනියෙන් නැරැඹූ ඕනෑම කාන්තාවකගෙන් අහලා බලන්න ගේල්ට දෙන්න ඕන දඬුවම මොකක්ද කියලා ඔවුන් කියාවි හරියටම.‘ චැපල් එසේ ද කියයි.

මේ අතර ඔස්ට්‍රේලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරු ක්‍රිස් රොජර්ස් ද බිෂ් බෑෂ් තරගාවලිය අතරතුර ගේල් දැඩි විවේචනයට ලක් කළේය. ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ හද බැඳගත් මේ කොදෙව් පිතිකරුගේ අසංවර හැසිරීම යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට නරක ආදර්ශයක් බව රොජර්ස්ගේ අදහසය. මීට පෙර සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ ගේල් සමඟ එකට ක්‍රීඩා කළ රොජර්ස් කියා සිටියේ සිය පැරැණි සගයාගෙන් මෙවැනි අසංවර හැසිරීමක් බලාපොරොත්තු නොවූ බවකි.

‘දැන් ඉතින් මං තවදුරටත් ඔහුගේ ක්‍රීඩාලෝලීයකු නෙවෙයි. මං ඒ කාලේ ඔහු සමඟ තැන් තැන්වල ඇවිදින්න යනවා. මින් පස්සේ නම් මං ඔහු ඇසුරු කරන්නේ අතේ දුරින්.‘ රොජර්ස් එසේ කීවේය.

‘මං කළේ පුංචි විහිළුවක්නේ. ඒකට මෙච්චට උඩ පනින්න ඕනෙද..මෙල්ට අගෞරව කරන්න හරි එයාව අපහසුතාවට පත් කරන්න හරි හිතාගෙන නෙවෙයි මං එහෙම දේවල් කිව්වේ.‘ ඊළඟ දිනයේ ගේල් සිය ‘ට්විටර්‘ ගිණුම හරහා වෙබ් අඩවියට එසේ පණිවිඩයක් මුදා හැර තිබිණි.

කෙසේවෙතත් ඊට මුල් වූ මෙල්ට උවමනා වූයේ මේ සිද්ධිය එහෙම පිටින්ම අමතක කිරීමටය. ඇය ඒ ගැන කතා කරන්නටවත් කැමැතිවූයේ නැත. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රීඩකයකුගෙන් ඇය මෙවැනි අසංවර ප්‍රකාශයක් හෝ ආරාධනාවක් බලාපොරොත්තු නොවූ බව පසුව කියා සිටියාය.

‘ඔහුගෙන් එවැනි කැත ආරාධනාවක් මං බලාපොරොත්තු වුණේ නෑ. ඒක කනගාටුදායක සිද්ධියක්. මම එවැනි හැසිරීම්වලට කොහෙත්ම කැමති කෙනෙක් නෙවෙයි. ආපහු මේ වගේ සිදුවීමකට මුහුණපාන්නට නොලැබේවා කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. ගරුත්වය කියන්නේ මං ඉහළින්ම බලාපොරොත්තු වන දෙයක්. මට මගේ පාඩුවේ රස්සාව කරගෙන ඉන්නයි ඕනා.‘ ගේල් නිසා දැඩි අපහසුතාවට පත්වූ මෙල් එසේ කියන්නීය.

ලොව පුරා විවිධ රටවල තරුණියන්ගේ ලිංගික ආකර්ශනය බලාපොරොත්තු වන ජැමෙයිකාවේ උපන් 36 හැවිරිදි මේ අවිවාහක පිතිකරුවා මෙවැනි අසංවර හැසිරීම් රටා හේතුවෙන් අපකීර්තියට පත්වූයේ වරක් දෙවරක් නම් නොවේ. ඔහුගේ ඉතිහාසය හාරා අවුස්සා බැලීමේ දී පෙනී යන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම තරුණියන්ට ද බෙහෙවින් ලොල් වූ මිනිසකු බවය.

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැති පසුගිය ලෝක කුසලාන එක්දින තරගමාලාව අතරතුර ගේල් කොදෙව් ක්‍රිකට් පිල බලාගැනීමට පත් කළ ඔස්ට්‍රේලියානු කාන්තාවකට සිඩ්නි හී ඔවුන්ගේ විවේකාගාරයේදී රහසඟ පෙන්වීමේ අපකීර්තිමත් සිදුවීමක්ද ඉහත කී රූපවාහිනී නිවේදිකාවගේ සිද්ධියත් සමඟ යළි මතුවිය. ‘ෆෙයාර්ෆැක්ස් මීඩියා‘ ආයතනය මේ සම්බන්ධව ඊයේ පෙරේදා ක්‍රිස් ගේල් ගේ පතුරු හරින්නට පටන් ගත්තේය. ඒ වාර්තාවට අනුව ක්‍රීඩකයන්ගේ කුටියට එම කාන්තාව පැමිණි මොහොතේ ගේල් තමා හැඳ සිටි තුවාය ගලවා ඔහුගේ නිරුවත පෙන්වා තිබේ. මේ සිදුවීම තරයේ ප්‍රතික්ෂේප කරන ගේල් දැන් එම මාධ්‍ය ආයතනයට එරෙහිව නඩු දැමීමට සුදානමින් සිටි.

ක්‍රිස් ගේල්ගේ මේ අසංවර හැසිරීම පිළිබඳ ඔහුගේ ඉතිහාසයේ ඇති තරම් සිදුවීම් වාර්තා වී ඇති අතර ජැමෙයිකාවේ පිහිටි සිය සුපිරි නිවසේ පවත්වාගෙන යන වැඩිහිටියන්ගේ ක්‍රීඩා සමාජයක තොරතුරු ද ඒ අතර විය. එය පළමුවරට මාධ්‍යයට අනාවරණය කරනු ලැබුවේ ද ඔහු විසින්මය. තම නිවසේ ඇති වැඩිහිටියන් සඳහා වෙන්වූ ක්‍රීඩා සමාජයේ ඡායාරූප ඔහු මීට දෙමසකට පෙර සිය ‘ඉන්ස්ටග්‍රෑම්‘ වෙබ් පිටුයේ පළ කළේ ඉමහත් ආඩම්බරයකිනි.

එපමණක් නොව ‘ඔබගේ නිවසේ මෙවැනි වැඩිහිටියන්ගේ ක්‍රීඩා සමාජයක් (strip club) නොමැතිනම් ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවේ.‘ යනුවෙන් එම ඡායාරූපවලට පහළින් සඳහන් කිරීමට ද ඔහු අමතක කළේ නැත. ගේල්ගේ වැඩිහිටි ක්‍රීඩා ශාලාවේ මැද කණුවක් සිටවා ඇත්තේ කාන්තාවන්ට එහි එල්ලී ඔවුන්ගේ ඇඳුම් උනා දමා රිසිසේ නර්තනයේ යෙදෙන්නටය. ‘ස්ටැග් නයිට්‘ නමින් බොහෝ රටවල විවිධ රාත්‍රී සමාජශාලාවන් හී පැවැත්වෙන අවිවාහකයන්ගේ සාදවල දී කාන්තාවන්ට ශෘංගාරාත්මක නර්තනයේ යෙදීමට මෙවැනි උපාංග සවිකොට ඇති අයුරු දකින්නට ලැබේ.

ලොව පුරා විවිධ රටවල පෙම්වතියන් දුසිම් ගණනින් ඇසුරු කරන ක්‍රිස් ගේල්ගේ මේ සල්ලාල දිවිපැවතුමට නැවතීමේ තිත තැබීමට මෙල් මැක්ලෝලින්ගේ සිදුවීම ප්‍රමාණවත් වනු ඇතැයි සිතිය නොහැකිය. අනික් අතට ක්‍රීඩාවෙන් සමුගත්තත් සිය සෙල්ලක්කාර ජීවිතයට සමුදීමට නම් ගේල් තවම සූදානම් නැත. සැබැවින්ම ඔහු ගත කරමින් සිටින්නේ සිය පිත්තෙන් එල්ල කරන දැවැන්ත හයේ පහරවල්වලට වඩා වේගවත් ජීවන රටාවකි. එහි මුල් තැන නිතැතින්ම හිමිවී ඇත්තේ කාන්තාවන්ටය. ක්‍රීඩාවට දෙවැනි තැනය.

සටහන ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න