රුව වඩන සුව සදන යෝග | දිනමිණ

රුව වඩන සුව සදන යෝග

උදරය අඩු කරන උට්ටාන්පදාසන

කාන්තා හා පිරිමි සැමටම මහත් වූ උදරය, නැතිනම් උදරය ඉදිරියට නෙරා ඵ්ම නිසා අපමණ සෞඛ්‍ය ගැටලුවලට වගේ ම පෞරුෂ හානිවලට ද ගොදුරු වීමට සිදුවේ. උදරය වටා අනවශ්‍ය මේද තැන්පතු දහනය කර, සුන්දර හා සෞඛ්‍යසම්පන්න සිරුරක් පවත්වා ගැනීම සඳහා ඉතාම සරල වූත්, ඉමහත් ඵලදායී වූත් උට්ටාන්පදාසනය ඔබට අතිශයින් ම ප්‍රයෝජනවත්වේ. උට්ටාන් යනු 'එසවීම' වන අතර, 'පාද එසවීම' යනාර්ථයෙන් 'උට්ටාන්පදාසන' ලෙස මේ ආසන නම්කර ඇත.

උපදෙස්

උදෑසන හා සවස් කාලයේ කුස හිස්ව තිබියදී මේ අභ්‍යාසයේ යෙදීම සුදුසු ය.

ගර්භණී මවුවරු, අධි රුධිර පීඩනය හා හදවත් රෝගවලින් පෙළෙන අය මේ ආසනයේ නොරැදිය යුතු ය.

1-ඒකපාද උට්ටාන්පදාසන

මෙහිදී එක් වරකට එක් පාදයක් වශයෙන් එසවීම සිදු කරන බැවින්, 'ඒකපාද උට්ටාන්පදාසන' නම්වේ.

ක්‍රමය

1 රූපය

i. මුලින්ම 1 රූපයේ දැක්වෙන පරිදි ඇතිරිල්ලක් මත උඩුබැලි අතට වැතිරෙන්න. දෙපා ළංකර, දෑත් කලවා දෙපසට ළංව තබාගන්න.

ii. දැන් ගැඹුරින් හුස්මක් ගෙන හුස්ම පිට කරමින් සිරුර ලිහිල් කරන්න.

2 රූපය

iii. නැවතත් උදරය පිම්බෙන පරිදි ගැඹුරින් හුස්මක් ගෙන, ක්‍රම ක්‍රමයෙන් උදරය හකුළුවනවාත් සමඟම හුස්ම පිට කරමින්, 2 රූපයේ පරිදි දකුණු පාදය අංශක 90 ක් ඉහළට ඔසොවන්න. දණහිස් නොනමා ඍජුව තබාගන්න. (එසේ කිරීම අපහසුනම් , 2-1 රූපයේ පරිදි අංශක 45 ක් ඉහළට පාදය ඔසොවා අර්ධ-ඒකපාද උට්ටාන්පදාසනයේ යෙදෙන්න.)

iv. ආධුනික ඔබ තත්පර 30-60 පමණ හුස්ම රඳවාගෙන, මේ ඉරියව්වෙන් රුඳී සිටින්න.

v. දැන් සෙමෙන් හුස්ම පිට කරමින් පාදය පහතට ගෙන, මූලික ඉරියව්වට පැමිණ සැහැල්ලු වන්න.

vi. ඉන්පසු ඉහත ආකාරයටම වම් පාදය ඔසොවා, එම ඉරියව්වේම යෙදී සැහැල්ලු වන්න.

vii. මෙසේ එක් පාදයකට වාර 6 බැගින් මේ ආසනයේ යෙදී නිදහස් වන්න.

2-ද්විපාද උට්ටාන්පදාසන

මෙහිදී පාද දෙකම එකවර එසවීම කරන බැවින්, ද්විපාද උට්ටාන්පදාසන නම්වේ.

ක්‍රමය

viii. ඉහත ඒකපාද උට්ටාන්පදාසනයේ දැක්වූ 1 හා ii වැනි පියවර අනුගමනය කරන්න.

ix. ඉන් පසු උදරය පිම්බෙන පරිදි ගැඹුරින් හුස්මක් ගෙන, ක්‍රම ක්‍රමයෙන් උදරය හකුළුවනවාත් සමඟම හුස්ම පිට කරමින් 3 රූපයේ පරිදි පාද දෙක ම එකවර අංශක 90 ක් ඉහළට ඔසොවන්න. දණහිස් නොනමා ඍජුව තබාගන්න. (එසේ අපහසුනම් 3-1 රූපයේ පරිදි අංශක 45 ක් ඉහළට පාදය ඔසොවා, අර්ධ-ද්විපාදඋට්ටාන්පදාසනයේ යෙදෙන්න.)

x. ආධුනික ඔබ තත්පර 30-60 පමණ හුස්ම රඳවාගෙන මේ ඉරියව්වේම රැඳී සිටින්න.

xi. මෙසේ වාර 06 ක් මේ ආසනයේ යෙදී, සෙමෙන් හුස්ම පිටකරමින්, දෙපා පහතට ගෙන උඩුබැලි අතට වැතිරී සැහැල්ලු වන්න.

ප්‍රතිඵල

* උදරගත මාංශපේශි ශක්තිමත් කරන අතර, උදරයේ, ඉඟ දෙපස හා කලවා ආශ්‍රිත අනවශ්‍ය මේද තැන්පතු දහනය කර, සිහින් උදරයක් හා හැඩැති සිරුරක් ලබා දේ.

* ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහපත් කර, මළබද්ධය හා අර්ශස් රෝගයේ මූලික අවස්ථාව සුව කෙරේ.

* රුධිර සංසරණය යහපත් කර, මානසික ආතතිය හා විඩාව දුරු කොට ක‍්‍රියාශීලී කරයි.

* පිට කොන්ද, පාද හා ශ්‍රෝණි ප්‍රදේශය ශක්තිමත් කරයි.

* මොළය හා ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියාකාරී වන බැවින් මතක ශක්තිය ද දියුණු වේ.

උපදෙස් සහ නිරූපණය- යෝග උපදේශිකා

රෂිනි සුරංගා විජේසිංහ

නව අදහස දක්වන්න