අයි. එස්. අයි. එස්. හැරයන අය පුළුස්සා මරා දමලා | දිනමිණ

අයි. එස්. අයි. එස්. හැරයන අය පුළුස්සා මරා දමලා

ඉරාකයේ රමාදි නගරය තම සංවිධානයෙන් ගිලිහීයාම අයි. එස්. අයි. එස්. සංවිධානයට කොතෙක් දරුණු පසුබෑමක් ලෙස දැනෙන්නේ ද යත්, තම බළකොටුව රැක ගැනීමට අසමත් වූ සටන්කරුවන්ව පණ පිටින් පුළුස්සා දමා ඇති බව වාර්තා වේ. මොසුල් නගර චතුරශ්‍රයේදී මෙම පුළුස්සා දැමීම් සිදු කර ඇතැයි සඳහන් ය. ඔවුන් විසින් සටන්කරුවන් කණ්ඩායම වළල්ලක් සේ සිටුවා ගිනි තැබූ බව එම ප්‍රදේශයේ කලින් පදිංචිව සිට දැනට ඇමරිකාවේ පදිංචි පුද්ගලයකුට මෙම සිද්ධිය ඇසින් දුටු පවුලේ සාමාජිකයකු විසින් ‍පවසා ඇත. මොසුල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ රමාදි වෙනුවෙන් අවසාන හුස්ම දක්වා ‍සටන් නොකළ සටන්කාමීන් සියල්ලන්ටම හිමි වූයේ එකම ඉරණම බවයි.

මෙය ත්‍රස්ත කල්ලිවලින් දක්නට ලැබෙන අලුත් දෙයක් නොවන බව ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ සහ ඉරාකයේ ජෙනරල් ඩේවිඩ් පෙට්‍රස්ගේ හිටපු බුද්ධිමය උපදේශක මිෂෙල් ප්‍රෙජන්ට් පවසයි. පසුගිය වසරේ සදාම්ගේ උපන් නගරය අහිමිකරගත් සටන්කරුවන්ට හිමිවූයේ මෙම ඉරණමම බව ඔහු පවසා සිටී. ටික්රිට් අහිමිවීමෙන් පසු ද මෙවන් ඝාතන සිදු වූ බවත් රමාදි හිදී අයි. එස්. අයි. එස්. සටන්කරුවන්ට ද එම දඬුවම හිමිවීම පුදුමයක් නොවන බවත් පැවසේ.

සුන්නි මුස්ලිම්වරුන් බහුතරයක් වන රමාදි නගරය අන්බාර් පළාතට අයත් අතර බැග්ඩෑඩ් නගරයට බටහිර දිගින් සැතපුම් 80ක පමණ දුරින් පිහිටා ඇත. අයි. එස්. අයි. එස්. සටන්කරුවන් විසින් රමාදි නගරය බලය අත්පත් කර ගත්තේ 2014 වසරේ ජූනි මාසයේ ය.

රජ‍ය කුර්දි කණ්ඩායම සහ ඒකාබද්ධ හමුදා සමඟ එක්ව මාස 18කට පෙර අයි. එස්. අයි. එස්. සටන්කරුවන්ගේ ග්‍රහණයට පත් මොසුල් නගරයේ බලය නැවත අත්පත් කර ගැනීමේ පිඹුරුපත් සකසමින් සිටී. වාර්ත වන අන්දමට සාමාන්‍ය ජනතාව ද මොසුල් නගරය තුළ කොටුවී සිටිති. ඔවුන්ට විදුලිය හා ජලය සීමා සහිත බවත්, වැඩ කිරීම වෙනුවෙන් වැටුපක් නොලබන බවත් වාර්තා වේ. කාන්තාවන් මෙන්ම දරුවන් ද දිනපතා ඝාතනයට ලක්වන බවත් ඉරාක වාර්තාවල සඳහන් ය.

ඒ.එෆ්.පී.


නව අදහස දක්වන්න